ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීමට අදාළ කටයුතු මේ වන විට සියයට 100ක් සම්පූර්ණ බවත් ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරිමට අදාළව මීළඟට පැමිණීමට නියමිත වාර්තාවේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇතුළත් වෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
අද පෙරවරුවේ දූෂණ වංචා සම්බන්ධයෙන් සොයා බැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරපු මෑතකාලීන වාර්තාවේ ඇමරිකානු පුරවැසිකම අත්හල පුද්ගලයන්ගේ නාම ලේඛණයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් නොවීම පුදුමයට හේතුවක් නොවෙයි.
නම තිබුණ නම් තමයි පුදුමේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අමෙරිකානු පුරවැසිකම අත් හැරීම සම්බන්ධයෙන් වන අවසාන ලේඛනය එතුමාට රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් එවන්නේ පසුගිය 2019 මැයි මාසයේ.
රාජ්‍ය දෙපාර්තමේන්තුව පුරවැසිකම අත්හල පුද්ගලයන්ගේ නාම ලේඛනය ඉදිරිපත් කරන්නේ 2019 මාර්තු මාසයේ 31 වන දින දක්වායි. 2019 මැයි මාසයේ පුරවැසිකම අත්හල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාම මාර්තු 31 වන දා ට කලින් පුරවැසිකම අත්හළ පුද්ගලයන්ගේ නාමලේඛනයේ තියෙන්නෙ කොහොමද? එහෙම තිබ්බනම් තමයි පුදුමය. ඒක නොතිබීම සම්බන්ධයෙන් අපි පොඩ්ඩක්වත් පුදුම වෙන්නේ නැහැ.
ජුනි මස 30 වන දා වන විට පුරවැසිකම අත්හල පුද්ගලයන්ගේ වාර්තාව ලබන මාසයේ මුල අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරනවා. එහි අනිවාර්යෙන්ම නම තියෙන්න ඕනේ.
මොකද එතුමන්ගේ පුරවැසිභාවය අත්හැරීමෙ ලේඛන මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒ නිසා මට බය නැතුව කියන්න පුළුවන් එතුමන්ගේ පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය 100% සම්පූර්ණයි. පුරවැසිභාවය අත්හැරිමේ අවසාන ක්‍රියාවලිය වන්නේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පුරවැසිභාවය අත්හැරීමේ සහතිකය නිකුත් කිරීමයි. එම සහතිකය මැයි මාසයේ ලැබුණා.”
