කෝවිඞ් 19 වෛරසය ආසාදනය වී මරණයට පත්වන්නන්ගේ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බල රහිත කරන්නැයි ලෙස ඉල්ලා මුස්ලිම් දේශපාලන පක්ෂ නායකයින් හා හිටපු අමාත්‍යවරුන් වන රාවුෆ් හකීම්, රිෂාඞ් බදුද්දීන් ඇතුළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 වැඩිදුර සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් 09 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (13) නියම කළේය.
ප්‍රියන්ත ජයවර්ධන සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් එලෙස නියම කළේය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක රාවුෆ් හකීම්, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක හා එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා හිටපු අමාත්‍යවරුන් වන රිෂාද් බදුර්දීන් මහතා අබ්දුල්ලා මොහොමඕ මහරූෆ්, අමීර් අලි, ඒ.එම්. මහරූප්, හුසේන් බහිලා යන මහත්වරුන්, කතෝලික හා මුස්ලිම් බැතිමතුන් පිරිසක් විසින් ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සෞඛ්‍ය ඇමැතිතී පවිත්‍රා වන්නිආරච්චි, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, සහ නීතිපතිවරයා නම් කොට ඇත.
කෝවිඩ් වසංගතයට ගොදුරු වී මියගිය අයගේ සිරුරු සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳ සදහන් කරමින් ඉකුත් අපේ‍්‍රල් මස 11වැනිදා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවත් එම ගැසට් නිවේදනයේ 61 දරණ රෙගුලාසියට අනුව එම සිරුරු ආදාහනය කළ යුතු බව සඳහන් කොට ඇතත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශයන්ට අනුව එම සිරුරු ආදාහනය කිරීමට හෝ මිහිදන් කිරීමට හැකියාව ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ එසේ තිබියදී මෙරට සිදුවන මරණ වලට අදාළ මළ සිරුරු ආදාහනය කළ යුතු බවට රෙගුලාසි පැනවීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව උල්ලංඝනය වන්නේ යැයි සඳහන් කොට ඇත.
කෝවිඩ් වසංගතයට ගොදුරු වී සෙසු රටවලදී මියගිය අයගේ සිරුරු ආදාහනය මෙන්ම භූමදාන කරන බවද ඉස්ලාම් දහමට අනුව මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් මිහිදන් කල යුතු බව සඳහන් කොට ඇති බවද පෙන්වා දෙන පෙත්සම්කරුවෝ එහෙත් ඊට පටහැනිව මුස්ලිම් අයගේ සිරුරු ආදාහනය කිරීමට නීති පැනවීමෙන් සිය අයිතිවාසිකම් උල්ලංඝනය වන හෙයින් මෙම රෙගුලාසි පනවමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක වීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටිති.
මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 කැඳවනු ලැබු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙම පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන සැප්තැම්බර් 09 වැනිදා කැඳවීමට නියම කළේය.
