කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්
ශ්‍රී ලංකා මුහුදු තීරයේ කොරල්පරවලින් 90%ක් මියගොස් ඇති අතර, ඉතිරි 10%ක ජීවී කොරල්පර ප්‍රදේශ වහාම අභය භූමි බවට පත්කිරීමේ අවශ්‍යතාවක් උද්ගතව ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා අවධාරණය කරයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ එම ඉතිරිව ඇති ජීවී කොරල්පර ප්‍රමාණයද මේ වනවිට දැඩි තර්ජනයකට ලක්වෙමින් පවතින බවයි.
ඒ අනුව ඒවායෙන් ඇතැම් කොරල්පර ඉතා විචිත්‍රවත්ව පෙනුණද සත්‍යය කරුණ නම්, ඒවා විරංජනය වීම හෙවත් කොරල්හි පවතින ඇල්ගී විනාශ වීම සිදුව ඇති බවත්, එය කොරල් මියයෑමේ මූලික අවස්ථාව වන බවත් හෙතෙම පෙන්වා දෙයි.
හික්කඩුව, පොල්හේන, වාකරේ, පරෙවි දූපත, කල්පිටිය බාර් පරය, ශිලාවතුර, අරිප්පු දූපත් ඇතුළු ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඇති කොරල්පර මේ වනවිටද දැඩි තර්ජනයකට පත්ව ඇති බවට සඳහන් කරන ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා, පරිසර දූෂණය හේතුවෙන් උෂ්ණත්වය ඉහළ යෑම, දෙස්විදෙස් සංචාරකයන් හේතුවෙන් සිදුවන හානි, අහිතකර ධීවර පන්න ක්‍රම යනාදී කරුණු ඒ සඳහා දැඩිව බලපා ඇතැයි පෙන්වා දෙයි.
විශේෂයෙන් පරෙවි දූපත දැඩි අවධානයකට ලක්විය යුතු ප්‍රදේශයක් බවට සඳහන් කරන ආචාර්යවරයා, අදාළ ප්‍රදේශ කඩිනමින් පරිසර සංරක්ෂණ කලාප බවට පත්කර සංචාරක කටයුතු මනාව පාලනය කළ යුතු බවද පවසා සිටියි.
එසේම කොරල් නැවත වගා කිරීම සිදු කරන්නේ නම්, ඒ සඳහා ක්ෂේත්රයේ මනා පළපුරුද්ද ලත්, හසල දැනුමක් ඇති ප්‍රවීණයන් විසින් නිසි විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ එය සිදු කළ යුතු බවත්, නොඑසේ නම්, ඉතිරිව පවතින ජීවී කොරල්පර ප්‍රමාණයටද ඉන් හානි පැමිනෙණු ඇති බවත් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා වැඩිදුරටත් පවසයි.
popular news
-
Champa Wednesday, 10 July 2019 03:34 PM
ඒක ඇත්ත. හරිම කණගාටුදායකයි. අපේ වටිනා විචිත්‍ර කොරල් පර ගැන කිසිම අවධානයක් නැහැ. වහාම කොරල් අභයභූමි ප්‍රදේශ නම් කරලා, මේ තියෙන ටිකවත් ආරක්ෂා කරගන්න ඕනේ. මේ වෙනුවෙන් හඬක් නඟපු එක ගැන ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතාට ස්තුතියි. කොරල් පර නැවත වගා කිරීම ආරම්භ කරන්න ඕනේ අනිවාර්යයෙන්ම. කොරල් පර mature වෙන්න අවුරුදු 25-30 සිට 75 දක්වා කාලයක් යනවලු. නමුත් ඊට කලින් දේශගුණික විපර්යාස සහ ගෝලීය උෂ්ණත්වය නිසා විනාශ වෙන්න පුළුවන්. ඒ හින්ද කෙලින්ම මුහුදේ කොරල් පර වගා කරන්නේ නැතුව, දේශගුණික විපර්යාස සහ ගෝලීය උෂ්ණත්වයට ඔරොත්තු දෙන විදිහට කොරල් වගා කිරීම රසායනාගාරයක කරලා ඊට පස්සේ මුහුදේ වගා කලොත් හොඳයි කියල මම හිතනවා. මේ ගැන පර්යේෂණයක් කරලා තියෙනව Florida වල තියෙන Mote Marine Laboratory and Aquarium කියන ආයතනය. අපිට, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට lab එකක් තියෙනවද? නැත්නම් අනාගතේ fully equipped lab එකක් හදා ගන්න ඕනේ. අනිත් එක sea farming කරන්නත් ඕනේ අනාගතේ. මසට නෙමෙයි මුහුදු ජීවින්, ඒ කියන්නේ බෙල්ලන්, කාවාටියන්, ඇල්ගී, මුහුදු පැළෑටි වගේ දේවල් වඳවී යන එක නවත්ත ගන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

