අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් ක්‍රියාවට නැංවූ ජනතාවාදී වැඩසටහන්වලට පහර දි තමන්ගේ දේශපාලන ප්‍රතිරූපය විනාශ කිරීමට නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කරයි.
උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ බඳවා ගෙන සිටි සංවර්ධන නිලධාරීන් පන්සිය අනූ දෙදෙනකුට (592) ජාතික හා පළාත් පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පත්වීම් පිරිනැමීම සඳහා බත්තරමුල්ල, පැලවත්ත අපේ ගම පරිශ්‍රයේ පැවති උත්සවයේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
පාසල් නිල ඇඳුම් රෙදි වෙනුවට වවුචර් ක්‍රමය හඳුන්වා දි සිසු දරුවන්ට උසස් තත්ත්වයේ නිල ඇඳුමක් ලබා දීමටත් නිල ඇඳුම් ලබා දීමේ දී එතෙක් පැවති දූෂණ හා අක්‍රමිකතා නවතා කිසිවෙකුටත් අත යට ගනුදෙනු කරගත නොහැකි වන පරිදි විනිවිද පෙනෙන ආකාරයෙන් වවුචර් ක්‍රමය ක්‍රියාත්මක කළ බැවින් රජයට රුපියල් කෝටි ගණනක මුදලක් ඉතිරි කර ගැනිමට හැකි වූ බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුණි.
සුරක්ෂා රක්ෂණ ක්‍රමය සම්බන්ධයෙන් ඇතැමුන් විවේචන කළත් සුරක්ෂා රක්ෂණාවරණය එම පෞද්ගලික ආයතනයට ලබා දීම අධ්‍යාපන අමාත්‍යාංශයේ වපසරිය යටතේ සිදුකළ ක්‍රියාවක් නොව අභියාචනා කමිටුවක් මගින් සිදුකරන ලද්දක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
පාසල් පෙළපොතෙහි අධ්‍යාපන අමාත්‍යවරයාගේ පණිවිඩයක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ඇතැමුන් බොහෝ විවේචන පළ කළත් පසුගිය වසර වල එවකට සිටි අධ්‍යාපන අමාත්‍යවරයාගේ පමණක් නොව ජනාධිපතිවරුන්ගේ පණිවිඩ ඇතුළත් කර තිබූ ආකාරය ද පෙන්වා දුන් අමාත්‍යවරයා තමාගේ පණිවිඩය ඇතුළත් කළත් ඒ වෙනුවෙන් රුපියලක් හෝ වැඩිපුර මුදලක් වැය වී නොමැති බවත් මෙහිදි පෙන්වා දුණි.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ද වැඩබලන අධ්‍යාපන ලේකම් තිස්ස හේවාවිතාන මහතා ද එක් විය.
කෂිනි හපුආරච්චි
