"කැරට් ටික 2000 ට ගියහම අපිත් බනිනවා, කැරට් 2000ට නෙමෙයි 5000ට ගියත් අපිට කමක් නෑ" යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, අනුරාධපුර, පලාගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින්ය.පලාගල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම පලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ සභාපතීත්වයෙන් පැවැත්විණි.
එම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවතින වන අලි ගැටලු, කෘෂිකාර්මික ගැටලු ඇතුළු ගැටලු හා ඒවාට විසදුම් සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන් හා රාජ්‍යය නිළධාරීන් සමඟ මෙහිදී සාකච්ජා කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ අක්කර 20 000 ක් වෙනුවෙන් බඩඉරඟු බීජ බෙදා දුන්නා.මේකේදී අපි පවුල් 10 000 ක් අක්කර 02 ක් වැව්වා කියලා ගණන් හැදුවොත්, මේ අය වෙනුවෙන් බීජ ටික නොමිලේ ලබා දුන්නා, පොහොර ටික නොමිලේ ලබා දුන්නා, බිම් සකස් කිරීමට මුදල් ටිකත් තව දින කීපයකදී ලැබෙයි.
පහුගිය දවස් වල මම මේ වගාවන් නිරීක්ෂණය කරන්න ගියා.බලන්න ගියහම ඉතාමත් සතුටුයි සමහරු අක්කර 02, 05, 10 වවලා, මේ වගේ ඉතාමත් හොඳින් වගා කරපු අය ඉන්නවා.මේ වගාවල් බලන්න ගියහම අපිට කෑම දෙනවා, තේ ටිකක් දෙනවා, කෑම කන්න මම ඒ ගෙවල් වලට ගියහම, අතහෝදන්න කුස්සියට ගියහම, කුස්සියෙන් එළියට බැස්සම අර අක්කර 05 ක් වවපු මනුස්සයාගේවත් ගෙදර කන්න අවශ්‍යය කරන තක්කාලී පැළය, මිරිස් පැළය කුස්සිය පිටිපස්සේ නෑ,
හැබැයි එයා වානිජ කෘෂිකර්මාන්තය කරනවා, එයා අක්කර 05/10 වගා කරලා විශාල ආදායමක් ගන්නවා, එයා තමන්ගේ රැකියාව මොකක්ද කියලා ඇහුවොත් කියන්නේ ගොවිතැන, කෘෂිකර්මාන්තය, හැබැයි තමන් කන්නෙත් තමන්ගේ සාක්කුවෙන් සල්ලි ටික අරගෙන කඩේට දීලා තමයි මිරිස් ටික ගන්නේ, එහෙමත් හේනක තමයි අහම්බෙන් පැළ වුණ බටු පැළයක්, තිබ්බටු පැළයක් තියෙන්නේ’
එහෙම ඇරෙන්න තමන්ට කන්න කියලා අපේ ජනතාව වගා කරනවා අඩුයි.හැබැයි බොහොම ආඩම්බරයෙන් කියනවා අපි තමයි රටටම කන්න දෙන්නේ, අපි තමයි රටටම හාල් දෙන්නේ, අපි දුන් නැත්නම් ඔගොල්ලෝ කොහොමද කන්නේ? අපි මහා උජාරුවෙන් කථා කරනවා, හැබැයි අපි මිරිස් කිලෝ එක රුපියල් 1000 ට විතර නැග්ගම, අපිත් අර නගරයේ මිනිස්සු වගේම බනිනවා, කැරට් ටික 2000 ට ගියහම අපිත් බනිනවා, හැබැයි කැරට් කන්න ඕන ජාතියක්ද අපි?
අපිට ඊට වඩා කන්න දේවල් කොච්චර තියෙනවාද? කැරට් 2000ට නෙමෙයි 5000ට ගියත් අපිට කමක් නෑ.හැබැයි නගරයේ අයට කැරට් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්, නගරයේ අයට වවන්න ඉඩක් නෑ, ජීවත් වෙන්න ඉඩක් නෑ, බොහෝම පුංචි ඉඩමක ඉන්නේ, ඒ නිසා සේරම ටික කඩෙන් ගන්න වෙනවා, ඒ නිසා ඒ අයට ගැටලුවක් තියෙනවා වෙන්න පුලුවන්, හැබැයි අපිට අක්කර ½ ක ඉඩමක් තියෙනවා, අක්කර 2 ½ ක කුඹුරක් තියෙන, විශාල හේනක් තියෙන අපිට ඇයි අපි කන ටික වගා කරගන්න බැරි, මිරිස් පැළ 10 ක් හිටවා ගන්න, තක්කාලී පැළ ටිකක් හිටවා ගන්න, බණ්ඩක්කා ටිකක්, බටු ටිකක්, මෑ කරල් ටිකක්, කැකිරි වැලක්, වට්ටක්කා වැලක් වෙන්න පුලුවන්.දැන් අපි මේකෙන් අයින් වෙලා, වාණිජ කෘෂිකර්මාන්තයට ගිහින් ලක්ෂ, කෝටි ගණන් හම්බ කරනවා, හැබැයි අපි ගන්නෙත් මිරිස් 100 ක් තමන්ගේ සාක්කුවේ සල්ලි වලින්.
මෙහෙම වෙන්න වරදකුත් තියෙනවා. අපි ඇට පැකට් ඕන තරම් බෙදලා තියෙනවා, හැම ආණ්ඩුවක්ම ගෙවතු වගා කරලා තියෙනවා.හැබැයි කාගෙවත් ඔලුවට කථා කරලා නෑ, හැබැයි දැන් ඔලුවට වඩා සාක්කුවට දැනෙනවා, ඒ නිසා දැන් හොඳම වෙලාව ඔලුවට දැනුනේ නැති දේ, දැන් සාක්කුවට දැනෙන නිසා තම තමන් තම තමන්ගේ ගෙවල් වල වගා කර ගත්තොත් එහෙම, අපි මිරිස් පැළයක්, තක්කාලී පැළයක්, බණ්ඩක්කා පැළයක් වගේ එළවලුවක් ගෙදර හිටෙව්වොත් දවස් කීයද යන්නේ අස්වැන්න ගන්න, දවස් 45 ක් 60 ක් යන්නේ.එහෙම නම් අපි මේක අපේ ඔලුවේ හදාගත්තොත්, එක එක්කෙනාට බඩු මිළ වැඩියි, අරක වැඩියි, මේක වැඩියි කියලා බැණ බැණ ඉන්නේ නැතිව. රෑට හූල්ල හූල්ල බුදියන්නේ නැතිව, අධිරුධිර පීඩනය වැඩි කර ගෙන බෙහෙත් අහුරු ගණන් බොන්නේ නැතිව, අපි අපේ මනස වෙනස් කර ගන්න ඕන.”
තිසර සමල්
