ජනපතිවරණය සැප්තැම්බර් 18 සහ ඔක්තෝම්බර් 18 අතර පැවැත්විය යුතු බවත් එය ප්‍රකාශ කිරීමේ අවසන් දිනය ජූලි 17 බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
"ජනාධිපතිවරණය කවදා පවත්වාවි දැයි එක් එක් අය දේශපාලන මත පල කරනවා. නමුත් ඒක දේශපාලන තීන්දුවක් නොවේ. නීතියේ තීන්දුවක්. ව්‍යවස්ථාවේ තීන්දුවක්. ජනපතිවරණයක් කලින් කැඳවීමේ අයිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම අනුප්‍රාප්තික ජනාධිපතිවරයාට අහිමි කරලා තිබෙන නිසා ජනාධිපතිවරණය පවත්වන දිනය තීරණය කරන්නේ ජනාධිපතිවරයා නොවේ. ඒක කරන්නේ මැතිවරණ කොමිසම. මැතිවරණ කොමිසමත් ඒක තීරණය කරන්න ඕනි ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව.
වත්මන් ජනාධිපතිගේ ධූර කාලය අවසන් වීමට මාස දෙකකට නොවැඩි මාසයකට නොඅඩු කාලය තුල අනිවාර්රයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 31(3) වගන්තියේ කියනවා. ගෝඨාභය ජනාධිපතිවරයා වැඩ භාර ගත්තේ 2019 නොවැම්බර් 18. ජනාධිපති ධූර කාලය වසර 5යිනෙ. එහෙම නම් වත්මන් ජනාධිපති භුක්ති විඳින ජනාධිපති ගෝඨාභය මහතාගේ ධූර කාලය අවසන් වෙන්නේ 2024 නොවැම්බර් 18.
ඒ අනුව 2024 නොවැම්බර් 18ට මාසයකට නොඅඩු මාස දෙකකට නොවැඩි දිනයක ජනාධිපතිවරණය පවත්වන්න ඕනි. මාසයකට නොඅඩු නම් ඔක්තෝම්බර් 18ට කලින් ඡන්දය තියන්න ඕනි. ඒ වගේම මාස දෙකකට නොවැඩි නම් සැප්තැම්බර් 18ට පස්සෙයි ඡන්දය තියන්න ඕනි. අන්න ඒ නිසා තමයි ඉතාම විශ්වාසයෙන් ඡන්දය පවත්වන දිනය 2024 සැප් 18 සහ ඔක් 18 දිනයන් අතර දී යෙදෙනවා කියා අපි කියන්නේ.
1988 දී සංශෝධිත ජනාධිපතිවරණ පනතේ 2(1)(ආ) වගන්තිය අනුව නාමයෝජනා භාර ගැනීම අවසන් වන දිනයේ සිට සති හතරකට නොඅඩු සති හයකට නොවැඩි දිනයක ඡන්දය විමසීම පවත්වන්න ඕනෑ. එහෙම නම් ආසන්නතම දවස බලන්න සැප්තැම්බර් 18 සිට සති හයක් කියන්නේ අගෝස්තු 7 වන දා. නාමයෝජනා සඳහා දුරම දිනය වෙන්නේ ඔක්තෝම්බර් 18 සිට සති හතරක් ආ පස්සට ගණනය කළාම එන සැප්තැම්බර් 20දා.
ජනාධිපතිවරණ පනතේ 2(1)(අ) වගන්තිය අනුව ජනපතිවරණය ප්‍රකාශ කරන දිනයේ සිට දින 16කට නොඅඩු දින 21කට නොවැඩි දිනයක් තමයි නාමයෝජනා දිනය ලෙස ප්‍රකාශ කරන්න ඕනෑ. දැන් අපි දන්නවා නාමයෝජනා දිනය විය හැකි ආසන්නතම දිනය අගෝස්තු 7 වන දා. එදා ඉඳන් දින 21ක් ගණනය කලොත් ජූලි 17. දුරම දිනය වන සැප්තැම්බර් 20දා සිට දින 16ක් ගණනය කලොත්. සැප්තැම්බර් 4 දා. ඒ කියන්නේ 2024 ජූලි 17 වන දා සහ සැප්තැම්බර් 4 වන දා අතර ඕනෑම දිනයක ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාර ගන්නා දිනය ප්‍රකාශයට පත් කරන්න මැතිවරණ කොමිසමට නීතියෙන් බැඳී ඉන්නවා.
සමහරු මාස ගණනක සිට පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හරින බවට මත පල කළා. ජනවාරියේ මාර්තුවේ පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට පත්තර වල ප්‍රධාන සිරස්තල පවා අපි දැක්කා. කිසිම සැකයක් නැතිව මුලින්ම එන්නේ ජනපතිවරණය කියා අපි හිතනවා. ඒකට හේතු ගණනාවක් තිබෙනවා.
පාර්ලිමේන්තු මැතිවරණය දැන් පැවැත්තුවොත් ආණ්ඩුවට දරුණු පරාජයක් අත් වෙන බවත් කවුරුත් දන්නා දෙයක්. දැන් පාර්ලිමේන්තුව අතිශයින්ම ජනාධිපතිවරයාට හිතකරයි. ඔහු එවන ඕනෑම පනතක් වැඩි ඡන්ද තිහකින් හතලිහකින් සම්මත වෙනවා. ඒ නිසා ජනාධිපතිතුමාට තමන් කැමැති දෙයක් කරමින් ජනාධිපති ධූරයේ බලතල රිසි සේ භුක්ති විඳින්න අවස්ථාව ලැබිලා තිබෙනවා. නමුත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මැතිවරණයක් ජනපතිවරණයට කලින් පැවැත්තුවොත් එදා සිට ජනාධිපති ධූරය අකර්මන්‍ය වෙනවා. අපේ ව්‍යවස්ථාව අනුව සැබෑ බලවතා ඡන්දයෙන් පත්වන විධායක ජනාධිපති නොවේ. පාර්ලිමේන්තුවේ බහුතරය තිබෙන කෙනා. බොහෝ වෙලාවට බහුතරය තිබෙන්නේත් ජනාධිපතිට නිසා හැමෝටම පේන්නේ ජනාධිපති හරිම බලවත් කියලා. නමුත් ජනාධිපති වෙනුවට වෙනත් කෙනෙකුට පාර්ලිමේන්තුවේ බලය ගියොත් ජනාධිපති අකර්මන්‍ය වෙලා පාර්ලිමේන්තු බලය තිබෙන කෙනා රට පාලනය කරන්න පටන් ගන්නවා. එහෙම අවස්ථා පහක් අපේ ඉතිහාසයේ තිබෙනවා.
අපි වත්මන් ජනාධිපතිට අදාළ උදාහරණය ගමුකෝ. 2001 දී පාර්ලිමේන්තුවේ බලය රනිල් මහතා අත්පත් කර ගත්තාම ජනතාවට පත් කළ ජනාධිපතිනි අකර්මන්‍ය වෙලා රටේ පාලනය රනිල් අතට ගියා. 2002 පෙබරවාරි කොටින් එක්ක සාම ගිවිසුම අත්සන් කලේ රනිල්. 2003 ජූනි මාසයේ ලෝක ආධාර සමුළුව පැවැත්වූයේ රනිල්. චන්ද්‍රිකාට තිබුණේ බලා ගෙන ඉන්න විතරයි. ඒ නිසා පාර්ලිමේන්තු මැතිවරණය කලින් පැවැත්තුවොත් තමන්ගේ ජනාධිපති බලයත් එදා ඉඳන් ඉවරයි කියලා ජනපති රනිල් අත්දැකීමෙන්ම දන්නවා. ඒ නිසා ජනපතිවරණයට කලින් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වනවා කියන්නේ රනිල් දේශපාලන වශයෙන් සිය දිවි හානි කර ගන්නවා කියන එකයි.
ජනාධිපතිවරයා හොඳින්ම දන්නවා ඊ ළඟ ජනාධිපතිවරණය ආණ්ඩුව පරදිනවා. 1994 සිට ජනපති වෙන්න දැරූ සියළු උත්සාහයන් අසාර්ථක වෙලා පරාජිතව ඉන්න අතරේ නොසිතූ මොහොතක නොසිතූ විධියකට ජනපති ධූරය රනිල් මහත්තයාගේ හිස මත කඩා වැටුණා. අහම්බෙන් ලැබුණු ජනපති ධූරයේ බලය උපරිමයට භුක්ති විඳිනවා මිස ඒකේ කාලය කෙටි කර ගන්න තරම් රනිල් මහතා මෝඩ වේවි කියලා අපි නම් හිතන්නේ නෑ."