කොවිඩ්-19 වසංගත තත්ත්වය සමග වත්මන් ලෝකයේ ජනතාව හා ආයතන මුහුණදෙන විශාලතම අවදානම විරැකියාව බව ලෝක ආර්ථික සංසදයේ නවතම සමීක්ෂණයකින් හෙළි වෙයි.
වසංගතයට එරෙහිව සටන් කිරීම සඳහා අගුලු දැමීම් සහ වෙනත් සීමාවන් හේතුවෙන් විරැකියා අනුපාතය ඉහළ ගොස් ඇති අතර, ශ්‍රමිකයන් කලකට විශ්‍රාම ගැන්වීම හෝ නිවාඩු ලබාදීම සිදුකර ඇති රටවල තත්ත්වය වඩාත් නරක අතට හැරෙනු ඇති බවද එමගින් අනාවරණය කෙරෙයි.
"වසංගතය, ඉහළ යන ස්වයංක්‍රීය තාක්ෂණයන් සහ හරිත ආර්ථිකයන් කරා මාරුවීම නිසා ඇති වූ රැකියා බාධාවන් මූලික වශයෙන්ම වෙනස්වන ශ්‍රම වෙළෙඳ පොළවල් ලෙස සඳහන් කළ හැකියි" ලෝක ආර්ථික සංසදයේ (WEF) කළමනාකාර අධ්යක්ෂ සාඩියා සහීඩි පැවසුවාය.
"අප මේ අර්බුදයෙන් මතුවෙද්දී, නායකයන්ට හා පාලකයන්ට නව රැකියා උත්පාදනය කිරීමට, ජීවන වැටුප් සඳහා සහාය වීමට සහ හෙට දවසේ ශ්‍රම වෙළෙඳ පොළවල ඇති අභියෝගයන්ට ප්‍රමාණවත් ලෙස මුහුණදීමට සමාජ ආරක්ෂණ දැල් යළි සකස් කිරීම සඳහා සුවිශේෂී අවස්ථාවක් ලැබී තිබෙනවා" ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
රටවල් 127ක ව්‍යාපාරික නායකයන් 12,012ක් සමීක්ෂණය කළ කලාපීය අවදානම් ව්‍යාපාර සමීක්ෂණය, ලෝක ආර්ථික සංසදයේ ගෝලීය තරගකාරීත්ව වාර්තාවේ කොටසක් වන අතර, එය ලබන මාසයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම අධ්‍යයනයෙන් අවදානම් 30ක් පිළිබඳව ප්‍රතිචාර දැක්වූවන්ගේ අදහස් සමීක්ෂණය කර ඇති අතර, බෝවන රෝග පැතිරීම පිළිබඳ කනස්සල්ලද පෙරට පැමිණෙමින්, පසුගිය වසරේ සමීක්ෂණයට වඩා ස්ථාන 28ක් ඉහළ ගොස් තිබේ.
රාජ්‍ය මූල්‍ය අර්බුද, සයිබර් ප්‍රහාර සහ ගැඹුරු සමාජ අස්ථාවරත්වය තුන්වැනි, සිව්වැනි සහ පස්වැනි විශාලතම අවදානම් බව සමීක්ෂණය පෙන්වා දෙයි. එහෙත් දේශගුණික විපර්යාස අවදානමද න්‍යාය පත්‍රයට අනුව ඉහළ යමින් පවතින අතර, මිලිටරි ප්‍රහාර පිළිබඳ කනස්සල්ල පහත වැටී තිබේ.