නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති නව සීමාවන්ට එරෙහිව මධ්‍යම ලන්ඩනයේ පැවති උද්ඝෝෂණයකදී ඊට සහභාගී වූවෝ පොලීසිය සමග ගැටුම් ඇති කරගෙන තිබේ.
ට්රැෆල්ගර් චතුරශ්‍රයේ උද්ඝෝෂකයන් විසින් පොලීසිය වෙත බෝතල් සහ ජලය විසි කිරීමෙන් පසුව, පිරිස පාලනය කිරීම සඳහා නිලධාරීන් බැටන් ප්‍රහාරයක් එල්ල කර ඇත.
අවම වශයෙන් විරෝධතාකරුවන් තිදෙනෙකු සහ නිලධාරීන් 9 දෙනෙකු තුවාල ලැබූ අතර 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
සමාජ දුරස්ථභාවයට අනුකූල නොවන නිසා විරෝධතා පැවැත්වීම එම නීතිය කඩ කිරීමක් බව පොලීසිය පවසයි. මීට පෙර සෙනසුරාදා දිනයේදීද දහස් ගණනක් මධ්‍යම ලන්ඩනයට රැස්වී රජයේ නවතම නීතිවලට විරෝධය පළ කළහ.
හය දෙනෙකුට වඩා රැස්විය නොහැකි නීතිය විරෝධතා සඳහා වලංගු නොවුණත්, සමාජ දුරස්ථභාවය උද්ඝෝෂකයන් විසින් කඩ නොකළ යුතු අතර, සංවිධාකයන් විසින් අවදානම් තක්සේරුවක්ද ඉදිරිපත් කළ යුතුය.
එංගලන්තයේ නවතම කොරෝනා සීමාවන්ට අනුව ගෘහස්ථ හා එළිමහන් රැස්වීම් හය දෙනෙකුට සීමා කර තිබේ.
වෛරසය පැතිරීම වේගවත් වීම නිසා දෙවැනි රැල්ලක් පාලනය කර, රට සම්පූර්ණයෙන් ලොක්ඩවුන් වීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගනිමින් තිබුණද, මෙවැනි උද්ඝෝෂණ නිසා වසංගතය තවදුරටත් ව්‍යාප්ත වන බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.