කොවිඩ්-19 හි මූලාරම්භය පිළිබඳ මීළඟ අදියරේ පරීක්ෂණවලදී ඇමෙරිකා එක්සත් ජනපදය සම්බන්ධයෙන් ප්‍රමුඛතාව දිය යුතු බවත්, මෑතකදී සිදුකළ අධ්‍යයනයකදී 2019 දෙසැම්බර් මාසයේ සිටම ඇමෙරිකාව තුළ වෛරසය සංසරණය වී ඇති බව හෙළි වී ඇති බවත් චීනයේ ජ්‍යෙෂ්ඨතම වසංගත රෝග විද්‍යාඥයා අවධාරණය කරයි.
එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතන (NIH) විසින් මේ සතියේ ප්‍රකාශයට පත් කරනලද අධ්‍යයනයෙන් හෙළි වූයේ එක්සත් ජනපදයේ නිල වශයෙන් කොවිඩ්-19 ප්‍රථම ආසාදිතයා වාර්තා කිරීමට සති කිහිපයකට පෙර එක්සත් ජනපද ප්‍රාන්ත පහක අවම වශයෙන් පුද්ගලයන් හත් දෙනෙකුට කොවිඩ්-19 ඇති කරන SARS-CoV-2 වෛරසය ආසාදනය වී ඇති බවයි.
මාර්තු මාසයේදී ප්‍රකාශයට පත්කරන ලද චීන-ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ඒකාබද්ධ අධ්‍යයනයකින් කියැවුණේ කොවිඩ්-19 බොහෝදුරට වවුලන්ගෙන් මිනිසුන් අතරට පැමිණෙන්නට ඇති බවය. එය චීනයේ වූහාන් හි විද්‍යාගාරයක නිපදවූවක් බවට ඇමෙරිකාව ප්‍රවර්ධනය කළ මතය එහිදී ප්‍රතික්ෂේප වූ අතර, ලෝක නායකයන් කිහිප දෙනෙකුම ඒ මතය හිතලුවක් බව කීය.
මේ අතර, කොවිඩ්-19 චීනයට විදේශයන්ගෙන් ආනයනය කරන ශීත කළ ආහාර හරහා ඇතුළු වන්නට ඇති බව චීනය විශ්වාස කරන අතර, විශේෂයෙන්ම මේ ආකාරයෙන් ඇමෙරිකාව තුළ 2019 දෙසැම්බර් සිටම වෛරසය සංසරණය වෙමින් පැවතීමද එම සැකය වඩාත් තීව්ර වන අවස්ථාවක් බවට පත්ව ඇති බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.
මේ තත්ත්වය තුළ රෝග පාලනය හා වැළැක්වීමේ චීන මධ්‍යස්ථානයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥයා වූ සෙන්ග් ගුවැන්ග්, ග්ලෝබල් ටයිම්ස් පුවත්පතට පවසා ඇත්තේ වසංගතය පැතිරීමේ මුල් අවධියේදී මිනිසුන් පරීක්ෂා කිරීම වෙනුවෙන් මන්දගාමී වූ, ලෝකයේ බොහෝ ජීව විද්‍යාගාරවල නිවහන වන එක්සත් ජනපදය කෙරෙහි අවධානය යොමුකළ යුතුව ඇති බවය.
"රට සතුව ඇති සියලුම ජෛව ආයුධ සම්බන්ධ විෂයයන් පරීක්ෂාවට භාජනය කළ යුතුය" චීන විද්‍යාඥයා අවධාරණය කළේය.
මේ අතර එක්සත් ජනපද අධ්‍යයනය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාවෝ ලිජියන් කියා සිටියේ කොවිඩ්-19 පැතිරයාමට බහු සම්භවයක් ඇති බව මේ වනවිට හෙළිවෙමින් පවතින නිසා වෙනත් රටවල්ද ලෝක සෞඛ්‍ය සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කරමින් එය පරීක්ෂා කළ යුතු බවය.