ඖෂධ නිෂ්පාදන සමාගමක් වන මොඩෙර්නා සිය කොවිඩ්-19 වළක්වන එන්නත අනුමතිය සඳහා ඉල්ලුම් කරමින් ඊයේ (30දා) එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) වෙත ලබාදී තිබේ.
මොඩෙර්නා එන්නත කොවිඩ් -19 වැළැක්වීම සඳහා එන්නත 94.1%ක් ඵලදායී බවත්, කොවිඩ්-19 දරුණු රෝගී තත්ත්වයන් වැළැක්වීම සඳහා 100%ක් ඵලදායී බවත් පෙන්වන පුළුල් දත්ත කට්ටලයක් සමාලෝචනය කරන ලෙස එම සමාගම FDA වෙතින් ඉල්ලා සිටියේය.
"මෙය කැපී පෙනෙන දෙයක් වගේම මේවා විස්මිත දත්ත" යැයි FDA හි එන්නත් උපදේශක කමිටුවේ සාමාජික වෛද්‍ය පෝල් ඔෆිට් පැවසීය.
මොඩෙර්නා හි ප්‍රධාන වෛද්‍ය නිලධාරියා පැවසුවේ සෙනසුරාදා රාත්‍රියේ දත්ත දුටු විට තමා වඩාත් හැඟීම්බර වූ බවය.
"මම මටම අඬන්න දුන්නු පළමු අවස්ථාව මෙයයි" වෛද්‍ය තල් සැක්ස් පැවසීය. "මේ වසංගතයේ ගමන්මඟ වෙනස් කිරීමට අපට පූර්ණ අපේක්ෂාවක් පවතිනවා."
නව කොරෝනා වෛරස එන්නතක් සඳහා හදිසි භාවිත අවසරය සඳහා FDA වෙත ඉල්ලුම් කරන දෙවැනි සමාගම මොඩෙර්නා ය. ඒ හා සමාන ඉහළ කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන දත්ත සමග නොවැම්බර් 20 වැනි දින ෆයිසර් සමාගමද ඉල්ලුම් කර තිබේ.
ෆයිසර් සහ මෝඩර්නාගේ අයදුම්පත් සමාලෝචනය කිරීම සඳහා FDA සිය උපදේශක කමිටුව සමග දෙසැම්බර් මාස මුල් සති දෙක තුළ රැස්වනු ඇත.
එක්සත් ජනපදයේ පළමු වැනි එන්නත් ලබාදීම දෙසැම්බර් අග භාගයේදී සිදුවනු ඇතැයි අපේක්ෂා කරන බව ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි සඳහන් කළේය.
මොඩර්නා පැවසුවේ යුරෝපීය ඖෂධ ඒජන්සියේ අවසරය සඳහා ඉල්ලුම් කිරීමටද ඔවුන් සැලසුම් කර ඇති බවය.