එන්නතකින් තොරව කොවිඩ්-19 වෛරස වසංගතය දුරු කිරීමට කිසිදු රටකට අවස්ථාවක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසයි.
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ඊයේ (21දා) පැවති අතථ්‍ය මාධ්‍ය හමුවට එක්වෙමින් අධ්යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේය.
"අපට එන්නතක් ලබා ගන්නා තුරු කිසිම රටකට මෙයින් ඉවතට යාමට අවස්ථාවක් නැහැ." ටෙඩ්රොස් පැවසුවේ කොවිඩ්-19 එන්නත හැකි ඉක්මණින් ලබාගැනීම අවශ්‍ය අතර, එය අත්‍යවශ්‍ය මෙවලමක් වනු ඇතැයි තමා විශ්වාස කරන නමුත්, තවම එකක්වත් ඇති බවට සහතිකයක් නොමැති බවය.
"අපට එන්නතක් තිබුණත්, එය වසංගතය තනිවම අවසන් කරන්නේ නැහැ. අප සතුව ඇති මෙවලම් භාවිතයෙන් මේ වෛරසය පාලනය කිරීමට සහ කළමනාකරණය කිරීමට අප සැවොම ඉගෙන ගත යුතුයි" ඔහු පැවසීය.
සෑම කෙනෙකුම ආරක්ෂිතව තබා ගැනීම සඳහා දෛනික චර්යාවන් සකස් කළ යුතු බව ටෙඩ්රොස් පැවසීය. මුඛ ආවරණ පැළඳීම සහ හොඳ සනීපාරක්ෂක ක්‍රම පුහුණු කිරීම මෙයට ඇතුළත් බවද ඔහු අවධාරණය කළේය.
රටවල් කිහිපයකම ආසාදන ඉහළ යාමක් දක්නට ලැබෙන බව පැවසූ අධ්යක්ෂ ජනරාල්වරයා, මෙම රටවල් දැන් වනවිට ආසාදිතයන් පහත වැටීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන රටවලට අනතුරු ඇඟවීමේ කතාවක් බවත්, ප්‍රගතිය යනු ජයග්‍රහණයක් නොවන බවත් අවධාරණය කළේය.
ලෝකයේ වෛරසය පාලනය කළේ යැයි පවසන රටවල ආසාදිතයන් ඉහළ යෑමට, මෙම නිසි සෞඛ්‍ය උපදෙස්වලින් බැහැරව, වෛරසය අමතකව කටයුතු කිරීම හේතු වූ බව විදෙස් වාර්තා පෙන්වා දෙයි. එහිදී ජනතාව ඒකරාශී වන ස්ථානවලදී පවා මුඛ ආවරණ නොමැතිව මිනිසුන් පොදිකන ආකාරයත්, රාජ්‍ය නායකයන් හා පාලකයන් පවා තම වගකීම් අමතක කර, වෛරසය අමතක කර කටයුතු කිරීමද මෙම ජනතාවට ඒ ආදර්ශය නොදීමේ වරදක් බවත් එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.