කුවේට්හි රියදුරු රැකියා සඳහා ගොස් පොරොන්දු වූ පරිදි එරටදී ප්රතිලාභ හිමි නොවූ ශ්‍රමිකයින් 35ක පිරිසක් අද දින (25) උදෑසන UL 230 දරන ගුවන් යානයෙන් දිවයිනට ගෙන්වා ගන්නා ලදී.
මෙම ශ්‍රමිකයින් කුවේට්හි රියදුරු සේවය සඳහා ගිය පසු, තමන් මෙරටදී ගිවිසගත් සේවා ගිවිසුමේ පරිදි නිසි වැටුප් හා පොරොන්දු වූ පරිදි සේවා වරප්‍රසාද නොලැබෙන බව සඳහන් කරමින් තානාපති කාර්යාලය වෙත පැමිණිලි කර ඇත.
මේ පිළිබඳව විදේශ රැකියා අමාත්‍යවරයාටද තොරතුරු වාර්තා වී තිබූ අතර, ඔහු විසින් මෙම ශ්‍රමිකයින් පිළිබඳව පෞද්ගලිකව සොයා බලා අවශ්‍ය පියවර ගැනීම සඳහා තානාපති කාර්යාල නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.
එහි ප්‍රතිඵලයක් ලෙස 2019.05.18 දින ශ්‍රමිකයින් සිවු දෙනෙකු දිවයිනට පැමිණි අතර, දිවයිනට පැමිණීමට නියමිතව තිබූ අනෙක් පිරිස අද දින දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවී තිබේ.
මෙම ශ්‍රමිකයින් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නිසි පරිදි විදේශ ගතවීම හේතුවෙන් ඔවුන් පිළිබඳව සොයා බැලීම සඳහා තානාපති කාර්යාලයට හැකිවිය. එහෙයින් රැකියා සඳහා විදේශ ගතවන සියලුම ශ්‍රමිකයින් සිය ආරක්ෂාව වෙනුවෙන් කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ ගතවන මෙන් කාර්යාංශය ඉල්ලා සිටියි.