කලාවැව ජාතික වනෝද්‍යානයේ සැරිසරන දීගදන්තු නමැති හස්තියා පිළිබඳ තොරතුරු දින 10ක කාලයක සිට වාර්තා නොවූ බව ගල්කිරියාගම වනජීවී නිලධාරීන් පවසයි.
ඉකුත් 18 වැනිදා හස්තියාගේ වම් පාදයකට වෙඩී වැදී බරපතළ තුවාල සහිතව සිටියදී වනජීවී නිලධාරීන් මැදිහත්ව ප්‍රතිකාර කර ඇති අතර ඉන්පසු දින කිහිපයක් වනජීවී නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මෙම හස්තියා සිට තිබේ.
එහෙත් යළි හස්තියාට ප්‍රතිකාර ලබා දීම සඳහා පසුගිය සිකුරාදා (22දා) වනජීවී නිලධාරීන් සූදානම්ව සිටියද ඔවුන්ට හස්තියා සොයා ගැනීමට නොහැකිව තිබේ.
කහල්ල, පල්ලෙකැලේ රක්ෂිතයේ සහ ගල්ගමුව, රැස්වෙහෙර ප්‍රදේශවලත් මෙහෙයුම් සිදුකළද දීගදන්තු හස්තියා සොයා ගැනීමේ මෙහෙයුම් අසාර්ථක වී තිබේ.
ඒ අනුව අද (28දා) පොලිස් විශේෂ බළකායේද සහාය ඇතිව හස්තියා සෙවීමේ මෙහෙයුම් වනජීවී නිලධාරීන් විසින් සිදුකර තිබේ.
කෙසේ නමුත් මේ වනතුරු හස්තියා පිළිබඳ තොරතුරක් ලැබී නොමැති බව මෙහෙයුමේ නිරත නිලධාරීන් පවසයි.
කලාවැව වනෝද්‍යානයේ සිටින දැවැන්තම හස්තියා සහ දිගින් වැඩිම දළ යුගලක් සහිත හස්තියා දීගදන්තු වන බව වනජීවී නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කරයි.





එස් . කරුණාරත්න