පිටිකිරි පානය තුළින් තාවකාලික පෝෂණ තෘප්තියක් ලැබෙනු විනා දරුවාගේ පූර්ණ වර්ධනයක් සිදු නොවන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ කිරිපිටිහි අඩංගු තෙල් ප්‍රමාණය හේතුවෙන් දරුවාගේ බර වැඩිවීම තුළ වර්ධනයක් සිදුවන බවට පෙන්නුම් කළද, ඊට සමානව දරුවගේ අනෙකුත් වර්ධනයන් සිදු නොවන බවයි.
ඒ අනුව බර වැඩිවීම, ස්ථුලභාවය දක්වා ව්‍යාප්ත වන බවට පෙන්වා දුන් මහාචාර්යවරයා, කිරිපිටිහි අඩංගු ඇතැම් පෝෂ්‍යපදාර්ථ හේතුවෙන් මොළය වර්ධනය වීමක් සිදු වන්නේ යැයි පැවසුවද, එවැනි වර්ධනය වීමක් සිදු නොවන බවට මේ වනවිට පවතින දත්ත අනුව ප්‍රකාශ කළ හැකි බවද පවසා සිටියේය.
'කිරිපිටි අර්බුදයේ ඇත්ත නැත්ත' යනුවෙන් 'සීමාවෙන් එහා සංසදය' විසින් කොළඹ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේදී සංවිධානය කරන ලද විද්වත් කතිකාවකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ කිරිපිටි පානය හරහා ස්ථුලභාවයට පත්වන දරුවන්ගෙන් 75%කට වැඩි ප්‍රමාණයක් වැඩිහිටිභාවයට පත්වූ පසු අනිවාර්යයෙන් ස්ථුලභාවයට පත්වන බවයි.
එම කතිකාවේදී මේ පිළිබඳ පැහැදිලි කිරීමක නිරත වූ මහාචාර්යවරයා,
" පනස් හා හැට ගණන්වල ඉතා ඉහළ ප්‍රමාණයකින් මවුවරුන්ට කිරි දීමේ හැකියාව තිබුණත් එයින් ඈත් වෙලා විශේෂයෙන් අප්‍රිකා මහද්වීපය හා ආසියා මහද්වීපයේත් පිටිකිරි දීමේ ව්‍යාපාරයක් දියත් වුණා. මේ නීති තත්ත්වයන් හරහා මවුකිරිවලට ලැබිය යුතු තැන ලබා දීමට පසුකාලීනව සමත් වුණා. ඒ අනුව අවුරුද්දට වඩා අඩු දරුවන් වෙනුවෙන් ඖෂධයක් ලෙස හැර කිරිපිටි ප්‍රචාරණය කරන්න බෑ.
එළිපිට ඒක වුණත් ඇත්තටම තිරයෙන් පිටුපස වෙනත් දෙයක් වෙන්නේ. නොයෙකුත් මාර්ගවලින් තවමත් එහි ප්රවර්ධනයන් සිදු වෙනවා. මවුකිරිවලට සමාන දෙයක් හදන්න පුළුවන් වෙලා නෑ. අම්මා කෙනෙකුට දරුවෝ තුන්දෙනෙක් සිටියා නම් ඒ දරුවෝ තුන්දෙනාට හදන කිරිවල සංයුතිය වෙනස්. පළමුවැනි දරුවට වඩා දෙවැනි දරුවාට හැදෙන මවුකිරිවල සංයුතිය වෙනස්. ඒ තරම් විශේෂයි. එය ඉතා ඉහළ තත්ත්වයෙන් යුතුව දරුවෙකුට හැදෙන දෙයක්. එතැනින් පේනවා වෙනත් සත්ත්වයෙක්ට හැදුණු කිරි තවත් සත්ත්වයෙක්ට සුදුසු වේවිද කියලා.
අපේ මතයක් තියෙනවා ළමයෙක් ආහාර ගත්තේ නැත්නම් කිරි තමයි සුපිරිම ආහාරය කියලා. සමාජයේ පිළිගැනීමක් තියෙනවා කිරි කියන්නේ සම්පූර්ණ ආහාරයක් කියලා. නැහැ. වැඩිම වුණොත් කිරි පංගු එකක් හරි දෙකක් හරි නැත්නම් තුනක් හරි තමයි පුද්ගලයෙකුට ඕන වෙන්නේ. ඒකත් කිරි හෝ කිරි ආහාර. කිරි ආහාර කිවුවම යෝගට්, මුදවපු කිරි අනිවාර්යයෙන්ම ඒකට අඩංගු වෙනවා.
විවිධාකාරයේ ආහාර මත පදනදම්ව පරිණාමය වූ අපට කිරිවලට ඇබ්බැහි වීම සුදුසු නෑ. කිරි කියන්නේ විශාල ප්‍රමාණයක් තෙල් තියෙන ආහාරයක්. අවසන් ප්‍රතිඵලය ස්ථුලභාවටය පත්වීමයි. අපි හිතාගෙන හිටියේ පසුගිය වසර 15ක්, 20ක් වෙනකන් අපේ රටේ ප්‍රධාන ප්රශ්නය මන්දපෝෂණය කියලා. නමුත් දැන් ස්ථුලභාවයත් ක්රමාණුකූලව වැඩි වෙනවා. ඊට බලපෑ ප්‍රධාන දෙයක් ලෙස දකින්න පුළුවන් වෙන්නේ මේ අනවශ්‍ය විදියට කිරි එකතු කිරීම. කිරි තුළින් අවසානයේ ස්ථුලභාවයට පත්වන දරුවන්ගේ 75%කට වැඩි ප්‍රමාණයක් වැඩිහිටියන් ලෙස අනිවාර්යයෙන් ස්ථුලභාවයට පත් වෙනවා.
දැන්වීම් ගතහොත් සමහර පණිවිඩ පදනම් විරහිත ඒවායි. අපේ රටේ අවාසනාවකට නීතියේ කොහෙවත් නෑ දැන්වීමක් දාන්න කලින් අවසර ගත යුතුයි කියලා. දැන්වීමේ මොකක්හරි සෞඛ්‍ය පණිවුඩයක් තියෙනවා නම් සමහර වෙලාවට ඒක විකෘති කරලා දානවා. දැම්මාට පස්සේ තමයි පී.එච්.අයි. මහත්වරු ගිහින් ක්‍රියාමාර්ග ගන්නේ. මේ නිසා කිරි කියන දේට අනවශ්‍ය ලොකු ප්‍රචාරණයක් ලැබිලා තියෙනවා.
ඒ තුළින් කිරි නැතිව ජීවත් වෙන්න බෑ කියන මට්ටමට අද සමාජය හදලා තියෙනවා. නමුත් විද්‍යානුකූලව, පෝෂණවේදයට අනුව කිරිවලට ආහාරයක් ලෙස කොටසක් තිබුණත් නමුත් ඒ කොටස අනිවාර්යයෙන්ම 100%ක් කිරිවලින්ම අවශ්‍යයි කියලා එකක් නෑ. කිරි හෝ කිරි ආදේශක ආහාරවලින් කිසිදු කරදරයක් නැතිව අඩුපාඩුව පුරවන්න පුළුවන්.
කිරිවලින් තාවකාලික පෝෂණ තෘප්තියක් ලැබෙනවා. ළමයාගේ වර්ධනයක් පෙන්නුම් කරනවා. ඒ වර්ධනය පෙන්නුම් කරන්නේ ප්‍රධාන වශයෙන් බරින්. නැතිව පූර්ණ වර්ධනයක් සිදු වෙන්නේ නැහැ. තෙල් ප්‍රමාණය නිසා බර වැඩි වෙනවා, බර වැඩි නිසා වර්ධනයක් පෙන්නුම් කරනවා කියලා හිතුවාට නමුත් දරුවාගේ අනෙකුත් වර්ධනයන් සමානව සිදු වෙන්නේ නැහැ. බර වැඩිවීම ස්ථුලභාවය දක්වා සිදු වෙනවා අවසානයේදී. ඇතැම් පෝෂ්‍ය පදාර්ථවලින් මොළය වර්ධනය වෙනවා කියනවා. ඇත්තටම එහෙම වෙන්නේ නෑ. දැනට තියෙන දත්තවලින් ඒක පැහැදිලිව පේනවා.
කිරි ආහාරයක් විදියට ගන්නවා නම්, දියර කිරි හෝ දියර කිරි ආශ්රයෙන් හදන නිෂ්පාදන යොමුවීම යෝග්‍යතම දෙයයි. හරි ප්‍රමාණයට හරි ආකාරයට ඒ ආහාරය ගන්නවා වගේම කිරිපිටිවලට ලැබී තිබෙන අනවශ්‍ය ප්‍රමුඛත්වය අඩු කළ යුතුයි" යනුවෙන්ද පෙන්වා දුන්නේය.