නව කොරෝනා වෛරසය කිසි විටෙකත් පහව නොයනු ඇති අතර, සෑම වසරකම ලොව පුරා මිනිසුන්ට මරු කැඳවන වෛරස මිශ්‍රණයට එක්විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.
වෛද්‍ය මයික් රයන් මෙම අදහස් පළ කළේ ඊයේ (13දා) ජිනීවා නුවරදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.
"මේ වෛරසය අපගේ ප්‍රජාවන්හි තවත් ආවේණික වෛරසයක් බවට පත්විය හැකි අතර මෙම වෛරසය කිසි විටෙකත් පහව යන්නේ නැහැ. මොකද එච්.අයි.වී තවම පහව ගොස් නැහැ" රයන් පැවසීය.
"මම මේ රෝග දෙක සංසන්ධනය කරනවා නොවෙයි. නමුත් අපි යථාර්ථවාදී වීම වැදගත් යැයි මා විශ්වාස කරනවා. මේ රෝගය අතුරුදන් වන්නේ කවදාද නැද්ද යන්න කිසිවෙකුට පුරෝකථනය කළ හැකි යැයි මා සිතන්නේ නැහැ."
"යම් ලෙසකින් මේ වෛරසය තුරන් කිරීම සඳහා අපට එන්නතක් නිපදවා ගැනීමට හැකි වුවහොත්, එම එන්නත ඉතා ඵලදායී විය යුතු වෙනවා. එය සෑම කෙනෙකුටම ලබාදිය යුතු වෙනවා. එමගින් මේ රෝගයේ දිගුකාලීන ගැටලුවලට විසඳුම් ලබාදිය හැකිවෙනවා. නමුත් එය එසේ නොවීමටද පුළුවන්." රයන් පැවසීය.