බුවනෙකබාහු රාජසභා මණ්ඩපය ලෙස සැලකෙන ගොඩනැඟිල්ල ඩෝසර් කර විනාශ කිරීමේ සිද්ධියට අදාළව කුරුණෑගල මහනගර සභාවේ නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා වහාම අත්අඩංගුවට ගෙන නීතීය ක්‍රියාත්මක කිරීමට වැඩබලන පොලිස්පතිවරයාට රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලමින් මැතිවරණ අපේක්ෂකයකු විසින් ඉදිරිපත් කළ පෙත්සම ලබන දෙසැම්බර් පළමුවැනිදා කැඳවීමට අභියාචනාධිකරණය අද (09) නියම කළේය.
මෙම සිද්ධියට අදාළ වැදගත් තොරතුරු කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තා වල සදහන්ව ඇති හෙයින් එම කරුණු ඉදිරිපත් කරමින් කරුණු දැක්වීමට අවසර දෙන්නැයි නීතීඥ සුනිල් වටගල මහතා ඉදිරිපත් කළ කරුණු සැලකිල්ලට ගනිමින් අභියාචනාධිකරණය එලෙස නියම කළේය.
මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු සෝභිත රාජකරුණා මහතා හමුවේ කැදවනු ලැබු අවස්ථාවේදී එලෙස නියම කළේය.
ජාතික ජනබලවේගය පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයකු වන නාමල් කරුණාරත්න මහතා විසින් රිට් ආඥාවක් ඉල්ලා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් වැඩ බලන පොලිස්පති වරයා, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි, පුරාවිද්‍යා අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නගර සභාව සහ නීතිපතිවරයා නම් කොට ඇත.
වසර 1293 සහ 1302 අතර කාලසීමාව තුල දෙවන බුවනෙකබාහු රජුගේ රාජ්‍ය පාලන සමයේදී ඉදි කළ බව කියන දෙවන බුවනෙකබාහු රජුගේ රාජ සභාව ඉකුත් දා ඩෝසර් කර කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපතිවරයා වෙත චෝදනා එල්ල වී ඇතැයි කියන පෙත්සම්කරු මෙම රාජසභා ගොඩනැගිල්ල පුරාවිද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබූ බවත් එය කඩා ඉවත් කිරීම තුළින් පුරාවිද්‍යා පනත යටතේ වරදක් සිදුවී ඇති බවත් සඳහන් කොට ඇත.