ඔරොත්තු නොදෙන තරගයක යෙදීම තුළ වර්තමානයේ බොහෝ දරුවන්ගේ විවේකී මනස විකෘති වී ඇති බවත්, රට තුළ බොහෝ අපරාධ, ලිංගික හිංසන, ප්රචණ්ඩ ක්‍රියා ඇතිවීමට මූලික හේතුව වී ඇත්තේ එම අධි තරගකාරීත්වය බවත්, මේ තත්වය කෙරෙහි ගුරුවරුන්, දෙමව්පියන්, ඇතුළු සමස්ත වැඩිහිටි ප්‍රජාවම සුවිශේෂ අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, අධ්‍යාපන අමාත්‍යාංශයත් AAT sri lanka ආයතනයත් එක්ව සංවිධානය කරන ලද ජාතික හා පළාත් පාසල් අතර "හොඳම වාර්ෂික වාර්තාව හා ගිණුම්" තේරීමේ තරගාවලියේ සම්මාන ප්රදානෝත්සවය -2018 සඳහා ඊයේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ සම්මාන ප්‍රදානෝත්සවයට එක්වෙමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
‘රටේ අධ්‍යාපනය තුළින් උගතුන් බිහි කළත්, බුද්ධිමතුන් බිහිකිරීම සිදුවන්නේ නැහැ. කටපාඩම් ශක්තිය ඇති දරුවන් විභාග සමතුන් ලෙස ඉදිරියට යාම ප්‍රමාණවත් නැහැ. දරුවන්ගේ මනස සංවර්ධනය කිරීමට අවශ්‍ය පිටුබලය අප අධ්‍යාපනය හරහා ලබාදිය යුතුයි. මෑතකාලීන ව රටේ පාසල් දරුවන් මුල් කරගෙන ඇතිවූ ඛේදවාචකයන් තුළින් තහවුරු වන්නේ ද දරුවන්ගේ මනස සංවර්ධනය කරගන්නට, ආකල්ප වැඩිදියුණු කරගන්නට, ආවේග පාලනය කරගන්නට පවත්නා නොහැකියාවයි.’ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය හරහා මේ තත්වය වෙනස් කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.