එජාපයේ අවබෝධතා ගිවිසුම අත්සන් කිරිම කල් ගිය හේතුව හැරිසන් කියයි
එක්සත් ජාතික පක්ෂය පුමුඛ පුළුල් සන්ධාන ගිවිසුම හෙට (05) අත්සන් නොකරන බවත්, නව සන්ධානයට එක් වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක ඉල්ලීම අනුව එම ගිවිසුම් අත්සන් කිරීම ප්‍රමාද කරන්නට සිදු වූ බව කෘෂිකර්ම,පශු සම්පත් සංවර්ධන, වාරි මාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ ඉපලෝගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පුළුල් සන්ධානය හදන්න හෙට (05) දවස තමයි සූදානම් කරලා තිබුණේ. නමුත් තවත් පාර්ශව ගණනාවකින් ඉල්ලීම් තියෙනවා. විශේෂයෙන් පොහොට්ටුවේ මන්ත්‍රී කණ්ඩායමක් වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමකුත් කියනවා ඒ අයටත් මේකට සම්බන්ධ වෙන්න ඕන ඒ නිසා තවත් මේ සන්ධානය පුළුල් කරලා මේ සම්බන්ධයෙන් සංවාදයකට ලක් කරලා මේ අත්සන් කිරීම පටන් ගත්තොත් හොඳයි කියලා. ඒ අයගේ ඉල්ලීමක් තියෙනවා ඒ නිසා අපිට මේක ටිකක් ප්‍රමාද කරන්න සිද්ධ වෙනවා.
අපිත් එක්ක එකතු වෙන්න ඉන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයගේ නම් කිව්වොත් එච්චර හොඳ නෑ. නමුත් රත්නපුර පැත්තේ පොහොට්ටුවේ සමහර අපේක්ෂකයෝ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෝ එන්න ඉන්නවා.
මේ වගේ ප්‍රබල පෙරමුණක් හදන කොට ඒ පෙරමුණේ මහලේකම්වරයා ප්‍රබල පක්ෂයක කෙනෙක් විය යුතුයි කියන යෝජනාව ඉදිරිපත් කරලා තියෙනවා.
ඇත්තෙන්ම මගේ පෞද්ගලික අදහසත් ඒකයි. ඒ ලේකම්වරයා තමයි මන්ත්‍රීවරු නම් කරන්නේ. කණ්ඩායමේ අනෙක් වැඩකටයුතු කරන්නෙ. එවැනි ලොකු වගකීමක් පැවරෙන කෙනෙක්, ඒ නිසා මහලේකම් ධූරය ප්‍රබල පක්ෂයකට හිමිවිය යුතුයි කියන එකයි මගෙත් අදහස. ඒ වගේ යෝජනා ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි ඒ ගැන සලකලා බලලා සන්ධානය අත්සන් කරන කොට තීන්දු ගන්නවා.
මම තාම ජනාධිපති - අගමැතිකම් වලට පෙරුම්පුරලා නෑ. ඒ නිසා මං ඒ ගැන බලාපොරොත්තුවක් නෑ. රවී කරුණානායක මහතා කිව්වට අපි පක්ෂයක් හැටියට බලන්න ඕන කවුද ජනප්‍රියම පුද්ගලය, කාටද මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එක. එක්සත් ජාතික පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධීකාරී මණ්ඩලයත්, එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ පෙරමුණේ දෙමළ, මුස්ලිම් පක්ෂ තියෙනවා, සිවිල් සංවිධාන ඇතුළු තවත් කණ්ඩායම් ගණනාවක් තියෙනවා, ඒ සියලු දෙනා එක්ක සාකච්ජා කරලා පොදු මතයකට ඇවිත් තමයි අපි තීන්දුවක් ගන්නේ. තරඟයකට ඉදිරිපත් වෙන කොට කණ්ඩායම් කිහිපයක් ඉදිරිපත් වෙනවා හැබැයි අපි අවසානයේ එක්සත් ජාතික පක්ෂය ලෙස පොදු මතයකට ඇවිත් සුදුසු පුද්ගලයා තෝරා ගන්නවා” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

