ආරක්ෂාව පිළිබද වගකිම සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ ජනාධිපතිවරයාට බවත් නිතිය හා සාමය ඇමැතිධූරය වසර ගණනාවක් දැරුවේ එක්සත් ජාතික පක්ෂය නිසා මේ වගකීමෙන් අගමැති ඇතුලු රජයට මිදෙන්නට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (4) ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ රැස්විමට එක්වෙමිණි.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා,
මේ දෙයින් සිද්ධ වුණේ විශාල ප්‍රහාරයක් එල්ල වෙලා ජනතාව අසරණ විමයි. හැම පුද්ගලයාම ජාති ආගම් භේදයකින් පිඩාවට පත්වුණා. සිංහල ජනයා තමන්ව ආරක්ෂා කරන්න කෙනෙක් නැහැ කියන තැනට මානසිකත්වය කඩා වැටුණා. දැන් කළ යුතුව තියෙන්නේ ආරක්ෂක අංශවලට නිදහසේ තමන්ගේ රාජකාරි කටයුතු කිරීමට ඉඩ දිමයි.
ආරක්ෂක අංශවලට බලපැම් ඇති වුණු අවස්ථා ගණනාවක් අපි දැක්කා. කල්පිටියේ පුපුරන ද්‍රව්‍ය හමුවෙද්දි බලපැම් කරලා යම් යම් පිරිස් මුදා ගැනීමට උත්සාහ කරපු බව අපි කවුරුත් දන්නවා. යම් අය අත්අඩංගුවට ගත්තාම හිටපු ඇමැතිවරයෙක් යුද හමුදාපතිවරයාට කතා කරලා තොරතුරු අහපු බවත් අපි දන්නවා.
මේ විදියට තොරතුරු ඇසිමත් බලපැමක්. මේ නිසා ජනතාව තුළ කුකුසක් ඇති වුණා. එක පැත්තකින් එජාපය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම පැහැර හැරියා. රජය මෙය සාමාන්‍ය දෙයක් විදියට සැලකුවා. විශ්වාසයක් නැති විදියට වැඩ කළාට පස්සේ රටක් ඇතුලේ අරාජික තත්ත්වයක් ඇති වුනේ. මේ නායකයෝ දෙන්නාගෙන් කවුරු වුනත් කියන දේ ජනතාව විශ්වාස නොකරන තැනට පත්වුණා.
ඒ අනුවයි ආණ්ඩුකාරවරු දෙදෙනෙක් හා ඇමැතිවරයෙක් සම්බන්ධයෙන් උපවාසය ඇරඹුණේ. මේ අවස්ථාවේ එජාපය තවත් නාටකයක් රඟ දැක්වුවා. මේකේ තිරපිටපත ලිව්වේ සිරිකොත ඇතුලෙ, නැත්නම් අරලියගහ මන්දිරයේ. අධ්‍යක්ෂණය කළේ අරලියගහ මන්දිරය ඇතුලේ. පසුගිය කාලයේ. අවසානයේ ප්රවෘත්ති සාකච්ඡාවක් මගින් නාට්‍යානුසාරයෙන් එළියට දැම්මෙත් අරලියගහ මන්දිරයේදී. චෝදනා එල්ල වුණු පිරිසක් සිටියදි අනෙක් සියලුම දෙනා අත ඔසවලා එහි වගකිම භාරගන්නවා. සියලු දෙනාටම ඉල්ලා අස්වෙන්නයි කියලා කවුරුවත් කිව්වෙත් නැහැ. එහෙම දෙයක් කවුරුවත් බලාපොරොත්තු වුණෙත් නැහැ. මේකෙන් එජාපය බලාපොරොත්තු වෙන්නේ රටේ ජාතික ආරක්ෂාවත්, ජනතාවගේ අනාගතයත්, ඉදිරියේදී ඔත්තු සේවාවල පැවැත්මටත් දේශපාලනික වශයෙන් ප්‍රශ්නයක් සැදීමක් බව මන්ත්‍රිවරයා වැඩිදුරටත් පැවසීය.
කෂිනි හපුආරච්චි
