එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ අනිකුත් පක්ෂ එකතුවෙන් බිහි කිරීමට නියමිත නව සන්ධානයේ ලියාපදිංචි කටයුතු මේ සතිය තුළ අවසන් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එම සන්ධානයෙන් පක්ෂ නායකයින් තීරණය කර තිබේ.
නව සන්ධානය සහ එහි ලාංඡනය පිළිබඳ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නායකයින් පසුගිය දා මැතිවරණ කොමිසන් සභාව සමඟ සාකච්ඡා කර ඇත.
එම සන්ධානය මැතිවරණ කොමිෂන් සභාවේ ලියාපදිංචි කිරීමෙන් අනතුරු ව නව සන්ධානයේ නම සහ ලාංඡනය ප්‍රසිද්ධ කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අද පුවත්පතට පැවසීය.
මේ අතර නව සන්ධානයෙන් මහ ලේකම් ධුරයට පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා නම් කර ඇති අතර එහි ජාතික සංවිධායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පත් කිරීමට සාකච්ඡා කර ඇත.
එළඹෙන මහ මැතිවරණයට නව සන්ධානය යටතේ තරග කිරීමට නාම යෝජනා ලබාදීම පුද්ගලයින් සහ ජාතික ලැයිස්තුව සඳහා පුද්ගලයින් පත් කිරීම සන්ධානයේ පක්ෂ නායකයින් ගේ අනුමැතිය යටතේ පමණක් සිදු කිරීමට පක්ෂ නායකයන් අතර එකඟත්වයකට පැමිණ ඇති බව වාර්තා වේ.
නව සන්ධානයක් පිහිටු වීමටත් එහි නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දීමට නව සන්ධානයේ සන්ධානයේ කටයුතු කිරීමට සජිත් ප්‍රේමදාස මහතාට බලතල ලබාදීමටත් එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය පසුගියදා තීරණය කළේය.
කෙසේවෙතත් අද (10දා) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය ට නොව සන්ධානයේ තනතුරු සඳහා පත් කර ගන්නා පුද්ගලයින් පිළිබඳ දැනුම් දීමට නියමිත බව ද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වරයෙක් අද පුවත් පතට සඳහන් කළේය.
