පසුගිය මහ මැතිවරණයෙන් ලැබූ තීරණාත්මක පසුබෑමෙන් අනතුරුව නව නායකයෙකු යටතේ පක්ෂයේ ප්රතිසංවිධාන සහ ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා මේ වන විටත් පක්ෂයේ සියලුදෙනාම පොදු එකඟතාවයකට පැමිණ ඇති බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහ ලේකම් රුවන් විජයවර්ධන මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ රටට නිදහස උරුම කර දීම වෙනුවෙන් කැපවූ පක්ෂය මේ වන විට තීරණාත්මක මොහාතක් පසුකරමින් සිටින බවයි.
ඔහු නිකුත් කළ නිවේදනය
අභියෝග හමුවේ එක්සත්ව එක්සිත්ව පක්ෂය රැක ගනිමින් ඉදිරියට යමු
රට තුළ තනි දැවැන්තම දේශපාලන පක්ෂය වෙමින් මෙරටට නිදහස උරුම කර දීම වෙනුවෙන් ඇපකැප වූ එක්සත් ජාතික පක්ෂය අද වන විට තීරණාත්මක මොහොතක් පසුකරමින් සිටින බව පැහැදිලිය.
පසුගිය මහ මැතිවරණයෙන් අප ලැබූ තීරණාත්මක පසුබෑම හමුවේ දේශපාලන පක්ෂයක් ලෙස අප නැවත ශක්තිමත්ව නැගී සිටීමේ අවශ්‍යතාවත් ඒ වෙනුවෙන් පුළුල් ප්රතිසංවිධාන වැඩපිළිවෙළක් අත්‍යවශ්‍යම වී ඇති බව සියලුම එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ මෙන්ම, පුද්ගලිකව මාගේද අදහසයි.
ඒ වෙනුවෙන් නව නායකයෙකු යටතේ අදාළ ප්රතිසංවිධාන සහ ප්‍රතිව්‍යුහකරණ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා මේ වන විටත් පක්ෂයේ සියලුදෙනාම පොදු එකඟතාවයකට පැමිණ තිබේ.
මේ තුළ විවිධ වගකීම් වෙනුවෙන්, විවිධ නම් යෝජනා වී ඇති අතර ඒ සඳහා මේ වන විට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයන් සහ ඔවුන්ගේ අධාරකරුවන්ට අතර සියුම් තරඟයක් ද නිර්මාණය වී ඇති බව පෙනේ.
එක්සත් ජාතික පක්ෂය යනු මෙරට දේශපාලනය තුළ වරින් වර බිහි වූ පවුල් පක්ෂයක ආකෘතියක් නොවේ.එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති පිළිගන්නා,නව අදහස් වලින් යුත් ,ජනතා ආදරය දිනාගත් දක්ෂ නායකයින් අතීතයේ සිට වර්තමානය දක්වා ම නායකත්වයේ සිට පහලට පක්ෂයේ විවිධ තනතුරු දරා ඇත.
වර්තමානය තුළ ද පක්ෂයේ වගකීම් දැරීමට ඉදිරිපත් වන නායකයින්ගේ හිඟයක් නොමැත.එබැවින් මේ තීරණාත්මක මොහොතේ සියලුම නායකයින් සහ පාක්ෂිකයන් එක්සත්ව කටයුතු කරමින් පක්ෂය යළි ජයග්රහණයන් කරා ගෙන යාම වෙනුවෙන් අධිෂ්ඨානශීලීව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කිරීමට ද මම මෙය අවස්ථාවක් කරගනිමි.
අතීතයේ ද විවිධ දේශපාලන අභියෝග හමුවේ දුර්වල වෙමින් නැවතත් මහා ශක්තියකින් යුතුව නැඟී සිටිමින් අප දේශපාලන පක්ෂයක් ලෙස ජයග්‍රහණ සහ විජයග්රහණ අත්පත් කර ගත්තේ ද එකාවන්ව සිට පක්ෂයත්, නායකත්වයත්, පාක්ෂිකයාත් ආරක්ෂා කරගනිමිනි.
මෙම තීරණාත්මක අවස්ථාවේ ද අපි නව නායකත්වයක් යටතේ පුළුල් ප්‍රතිසංවිධානය වැඩපිළිවෙළක් සිදුකොට පක්ෂයේ විජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට අදිටන්කර ගනිමු.
එමෙන්ම විසම්මුතික මතවාද බැහැර කරමින් සම්මුතිවාදී තීරණයන්ට එළඹීමේ අවශ්‍යතාවත් රටත් ,ජාතියත්, පක්ෂයත් ආරක්ෂා කිරීම වෙනුවෙන් තිර අදිටනින් යුතුව කටයුතු කිරීමේ වැදගත්කමත් සියලුම දෙනාටම නැවතත් සිහිපත් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගනිමි.
රුවන් විජයවර්ධන,
නියෝජ්‍ය මහලේකම්,
එක්සත් ජාතික පක්ෂය.