ඉදිරියේ එන ඕනෑම මැතිවරණයක් වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ජුලි 01 දා සිට මැතිවරණ ප්‍රචාරණය ආරම්භ කරන බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවැසීය.
“20 එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරුගේ සහභාගිත්වයෙන් පක්ෂ නායක රනිල් වික්‍රසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී රැස්වීමක් පැවැත්වූවා.
එහිදී ඉදිරියේදී පැවැත්වෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීමේ අරමුණින් එළැඹෙන ජුලි මස පළමුවැනිදා සිට මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට එකඟවුණා. එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම සදහා, අමාත්‍ය රාජිත සේනාරත්න, අමාත්‍ය රුවන් විජයවර්ධන, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, මන්ත්‍රී මුජිබර් රහුමන් ඇතුළු කණ්ඩායමකින් සැදුම්ලත් කමිටුවක් පත්කළා.
කමිටුව මගින් ඉදිරි වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයන්න තීරණය කළා. ඉදිරිපත් වීමට නියමිත විශ්වාසභංග යෝජනාව ජයග්‍රණයෙන් පසු, මැතිවරණ රැළි මාලාවක් ක්‍රියාත්මක කරන්නත්, ප්‍රථම රැළිය කොළඹින් ආරම්භ කරන්නත්, ඒවාගේම ඊළග සතියේ අගහරුවාදා සහ බදාදා දිනවල සියළුම සංවිධායකවරු කැඳවා, ශාඛා සමිති ප්රතිසංවිධාන කිරීමේ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කිරීමටත්, අගහරුවාද සවස 2 කට සහ බදාදා දින උදය වරුවේ වෙන්කර තිබෙනවා.”