එළඹෙන අගෝස්තු පළමුවැනි දා රජය උපාධිධාරීන් 15,000කට රැකියා ලබාදෙන බවත්,ඔවුන් අතරින් 5,000ක පිරිසක් ගුරුවරුන් ලෙස පාසල් අධ්‍යාපන පද්ධතියට එක්කරගැනීමට කටයුතු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ප්‍රාථමික ශ්‍රේණි පාසල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක් ලබාදීම වෙනුවෙන් පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ, ගතවූ වසර කිහිපය ඇතුළත අධ්‍යාපන ක්ෂේත්රය තුළ ප්රගතිශීලී ක්‍රියාමාර්ග රැසක් ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවයි.
ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන මෙන්ම, සුරක්ෂා රක්ෂණ වැඩපිළිවෙළ, 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන වැනි මානව සම්පත් සංවර්ධනයට අදාළ ව සුවිශේෂ ක්‍රියාමාර්ග රැසක් හඳුන්වාදෙන ලද බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ තම රජය බලයට පත්වෙනකොට මේ රටේ පාසල් 10,000න් විදුලිය තිබුණෙ 60%කට විතරක් බවත් අද වනවිට පාසල්වලින් 98%කට විදුලිය දෙන්න අපට පුළුවන්කම ලැබුණු බවත්ය.
එමෙන්ම විද්‍යාගාර 3,000ක් හා පාසල්වලට අවශ්‍ය වැසිකිළි ඒකක 40,000ක් අලුතින් ලබා දිමට හැකි වු බවත් අමාත්‍යවරයා පැවසිය.
බොහෝ දරුවන් පාසලට පැමිණෙන්නේ උදෑසන ආහාර වේල නොගෙන බවත්, විශේෂයෙන් ම දරුවන්ගේ පෝෂණයට මෙය ඉතා බරපතල ප්‍රශ්නයක් ව පවතින බවද අමාත්‍යවරයා පැවසීය.
