උතුරු නැගෙනහිර ඡන්දවලින් සියයට අනූවක්ම ලැබෙන්නේ නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ අපේක්ෂකයාට බැවින් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ස්ථිර බව ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක නගර සංවර්ධන ජල සම්පත් සහ උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි.
අද (12) වනදා අකුරණ පැවැති ජනාධිපතිවරණ ප්රචාරක රැස්වීමක් අමතමින් හකීම් මහතා මෙසේ පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ හකීම් මහතා ,
“ජනාධිපතිවරණ ප්රචාරක කටයුතුවල අවසන් අදියරේ මේ වන විට අප ඉන්නවා. මැතිවරණ ප්රචාරක කටයුතුවලදී අපිට පෙනෙන දෙයක් තමයි දවසින් දවස සජිත් ප්‍රේමදාස මහතා වටා එක් වන ජනතාව විශාල වශයෙන් වැඩි වෙමින් ඉන්නවා. දකුණේ සිංහල ඡන්ද මේ වන විට සියයට පනහ පනහේ තියෙනවා. ඉදිරි දින දෙක තුළ මෙය තවත් සජිත්ගේ පැත්තට වැඩි වෙන්න පුළුවන්. නමුත් උතුරු නැගෙනහිර ඡන්දවලින් සියයට අනූවක්ම සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙනවා. ඒකේ කිසිම සැකයක් නෑ. උතුරු නැගෙනහිරින් පිටත ජීවත් වන දෙමළ මුස්ලිම් ජනතාවගේ ඡන්දත් විශාල ප්‍රමාණයක් ලැබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාටයි. ඒ අනුව සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නෑ.
සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති ධුර අපේක්ෂකවත්වය ලබා දිය යුතු බව මම හිතුවේ පසුගිය දින 52 කුමන්ත්‍රණය සිදුවූ දිනවලයි. හේතුව ඒ කාලයේ අපි රට පුරා රැස්වීම් පවත්වාගෙන ගියා. ඒ රැස්වීම්වලට සජිත් ප්‍රේමදාස මහතා පැමිණෙන අවස්ථාවල විශාල ප්‍රතිචාරයක් ජනතාවගෙන් ලැබුණා . මේ සම්බන්ධයෙන් පසුව මම පක්ෂ නායකත්වයත් එක්ක කතා කළා. නමුත් ඒ අවස්ථාව ලබා දීම දවසින් දවස කල් ගියා. අන්තිමට ඒක ලබා දෙන්න සිද්ධ වුණා.
මැතිවරණ ජයග්‍රහණය සම්බන්ධයෙන් අපට කිසිම සැකයක් නෑ. නමුත් අපි සියලු දෙනා මේ කෙටි කාලය තුළ තව තවත් ඡන්ද එකතු කර ගන්න ඕන” යැයිද ඔහු මෙහිදි සඳහන් කළේය.
මහනුවර - මෙහොමඩ් ආසික්
