උඩවලව ජලාශයේ පෝෂක ප්‍රදේශයට බලාපොරොත්තු වු වැසි නොලැබීමෙන් වලව මහවැලි කලාපයේ වගාබිම් හෙක්ටයාර් 25300ක් සහ පුද්ගලයින් 278000ක් පානීය ජල ගැටලුවකට ලක්වීමේ දරුණු අනතුරක් ඇති බව මහවැලි අධිකාරියේ වලව කලාපයේ නේවාසික කළමනාකාර එල්.එම්.එන්.ප්‍රියන්ත 04දා උඩවලවේ පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේය.
මේ වනවිට හෙක්ටයාර 12644ක් වී වගාකර ඇති බව ද ඔහු කීවේය. තව දින 29ක් වී වගාවට වතුර දියයුතු වුවත් පවතින තත්ත්වය අනුව දින 10කට වඩා වී වාගවට ජලය ලබාදිය නොහැකි බව නේවාසික කළමනාකාරවරයා කීවේය.
උඩවලව ජලාශයේ අක්කර අඩි 217000ක් තිබිය යුතු වුවත් ඇත්තේ අක්කර අඩි 30000ක් පමණක් බව ද සඳහන් කළේය. වැසි නැතිකම මෙන්ම වියළි කාලගුණ තත්ත්වය නිසා සිදුවන වාෂ්පීකරණය ද ජල මට්ටම පහළ යාමට හේතුවී ඇති බව ද නේවාසික ව්‍යාපාර කළමනාකරවරයා පැවසුවේය.
වලව කලාපයේ ගොවි සහ ගොවි නොවන පවුල් 86950ක පුද්ගලයින් 278000ක් සඳහා පානීය ජලය ලබාදීම ද ගැටලුවක්ව මහවැලි අධිකාරිය දැඩි අර්බුදයකට ලක්ව ඇති බවටද නේවාසික ව්‍යාපාර කළමනාකාර එල්.එම්.එන්.ප්‍රියන්ත මහතා අනතුරු ඇඟවීය.
මෙම ගැටලුවෙන් මිදෙන්නනම් වැසි ලැබිය යුතු බවත් එසේ නැතිවුණොත් උඩවලව ජාලාශයට ජලය ලැබෙන ක්‍රමයක් සැකසිය යුතු බවද පැවසුවේය. ඒ නිසා වගාවට ලබාදන ජලය අරපරිස්සමෙන් භාවිතයට ගන්නා ලෙස ද නේවාසික ව්‍යාපාර කළමනාකාරු වලව කලාපයේ ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
නියෝජ්‍ය ව්‍යාපාර කළමනාකාර (තාක්ෂණ හා සේවා) තිලක් රණසිංහ මහතා පැවසුවේ යල් කන්නයේ වැසි බලාපොරොත්තුව වගා කටයුතු ඇරඹුවක් බලාපොරොත්තුවු වැස්සෙන් අඩක ප්‍රමාණයවත් නොලැබුණ බවයි. මේ නිසා වලව කලාපයේ සතියකට වරක් ලබාදෙන මුර ජලය දවස් දොළහකට වරක් ලබාදෙන තත්ත්වයට ගෙනයාමට ගොවි මහත්වරු කටයුතු කර ඇති බව ද කීවේය.
විදුලිය නිපදවමින් උඩවලව ජලාශයට දිනකට අක්කර අඩි 1500ක වත් ජලය ලබාදෙන්න කියලා සමනලවැව ජලාශයෙන් මේවනවිට ඉල්ලා ඇති බව ද තිලක් රණසිංහ මහතා පැවසුවේය.
මේ වනවිට වී වගාව මල් පිපෙන අවදියේ ඇති බවත් ජලය හිඟවුණොත් වී අස්වැන්නට දැඩි ලෙස බලපෑමක් සිදුවනු ඇති බව නියෝජ්‍ය නේවාසික ව්‍යාපාර කළමනාකාර (කෘෂිකර්ම) මේනකා ක්‍රිෂාන්ති මහත්මිය පැවසුවාය.
ජලාශයභාර වාරිමාර්ග ඉංජිනේරු සුජීව ගුණසේකර මහතා පැවසුවේ ජලාශයට ලැබෙන ජල ප්‍රමාණය මෙන් තුන්ගුණයක් වගාවට සහ පානීය කටයුතු පිට කරන බවයි. ඒ නිසා උඩවලව ජලාශය මේවනවිට හොඳටම සිඳී ගොස් ඇති බැවින් අරපිරිමැස්මෙන් ජලය පරිහරණය කරන්නැයි ඔහු ඉල්ලා සිටියේය.
මහවැලි කලාපයේ ගොවි සංවිධන නියෝජිතයන්ද ගොවින්ගෙන් ජලය අරපිරිමසින ලෙස ආයාචනය කළේය.
උඩවලව ජලාශයේ වම් සහ දකුණු නමින් ඇල මාර්ග දෙකකින් ජලය නිකුත් කරයි. හෙක්ටයාර් 3500ක උක්වාගවට ජල නිකුත් කරන්නේ ද උඩවලව ජලාශයෙනි. රත්නපුර, මොණරාග ෂහ හම්බන්තොට යන දිස්ත්‍රික් තුනේ කොටසකට මෙසේ ජලය සැපයේ.
අජිතලාල් ශාන්ත උදය/කොලොන්න නානායක්කාර


