ඉරානයේ පැවති ජනාධිපතිවරණයෙන් මෙතෙක් ගණනය කර ඇති ඡන්දවලට අනුව දැඩි මතධාරියෙකු වන ඊබ්රාහිම් රයිසි ඉරානයේ මීළඟ ජනාධිපති වීමට නියමිත බව විදෙස් වාර්තා පවසයි.
මෙවර ඡන්ද විමසීමේදී ඔහු ප්රතිවාදී අපේක්ෂකයින් තිදෙනෙකු පරාජය කර ඇති අතර, තවත් අපේක්ෂකයන් රැසකට මැතිවරණය වළක්වනු ලැබූ පසුබිමක ඔහු දැවැන්ත ජයග්රහණයක් කරා ගමන් කරමින් සිටියි. කෙසේ වෙතත් 2017 පැවති ජනාධිපතිවරණයේ ඡන්දය ප්රකාශ කිරීමට සාපේක්ෂව මෙවර ඡන්දය ප්රකාශ කිරීම සැලකිය යුතු ලෙස පහත වැටී ඇති බවද වාර්තා වේ.
ඉරානයේ ඉහළම විනිසුරුවරයා වන රයිසි, අතිශය ගතානුගතික අදහස් දරන්නෙකු ලෙස සැලකෙයි. ඔහු එක්සත් ජනපද සම්බාධක යටතේ සිටින්නෙකු වන අතර, දේශපාලන සිරකරුවන්ගේ අතීත ඝාතන සමග සහසම්බන්ධයක් ඇති පුද්ගලයෙකු ලෙසද සැලකෙයි.
ඉරානයේ උත්තරීතර නායකයාට පසුව, ඉරානයේ ජනාධිපතිවරයා රටේ දෙවැනි ඉහළම නිලධරියා බවට පත්වෙයි. ඉරානයේ ක්රියාත්මක වන්නේ ආගමික මූලධර්මයන් අනුව යන පාලන තන්ත්රයකි.
ඊබ්රාහිම් රයිසි යනු කවුද?
ආගමික පූජකයෙකුද වන 60 හැවිරිදි ඊබ්රාහිම් රයිසි, සිය වෘත්තීය ජීවිතයේ වැඩි කාලයක් නීතීඥයෙකු ලෙස සේවය කර ඇත. පසුගිය ජනාධිපතිවරණයේදී හසන් රොයුහානි ඉදිරියේ පරාජයට පත්වී වසර දෙකකට පසුව ඔහු 2019 දී එරට අධිකරණයේ ප්රධානියා ලෙස පත්කරන ලදී.
දූෂණයට එරෙහිව සටන් කිරීමට සහ ඉරානයේ ආර්ථික ගැටලු විසඳීමට හොඳම පුද්ගලයා ලෙස රයිසි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටියේය. ඔහු ඉරානයේ පාලක පූජකවරුන්ට දැඩි ලෙස පක්ෂපාතී අයෙකු වන අතර, රටේ උත්තරීතර නායකයා වන අයතුල්ලා කමේනිගේ අනුප්රාප්තිකයෙකු ලෙස පවා සැලකෙයි.