ඉන්දුනීසියාවේ කොවිඩ්-19 වසංගතයෙන් ජනතාව වෙත කඩිනමින් ප්රතිශක්තීකරණය ලබාදීම සඳහා සුමාත්‍රා දූපතේ පෙකන්බාරු බලධාරීන් විසින් වැක්සීන් බස් රථ නමින් ජනතාව කරා එන්නත් රැගෙන යන බස් සේවයක් හඳුන්වාදී තිබේ.
ජුනි මස 01දා සිට ක්‍රියාත්මක වන මෙම බස් සේවය කෙරෙහි ජනතාවගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබීමත් සමග ඔවුන් දැනට යොදාගෙන ඇති බස් රථ සංඛ්‍යාව වහාම දෙගුණයකින් වැඩි කිරීමටද බලධාරීන් කටයුතු කර ඇත.
මිලියන 270 ක ජනගහනයක් වෙසෙන ඉන්දුනීසියාව, පසුගිය මාසයේ පැවති ආගමික උත්සවයෙන් පසුව, වෛරස් ආසාදනවල යම් උච්චතම අවස්ථාවකට එළැඹ තිබේ.
බොහෝවිට ජනතාව එන්නත් මධ්‍යස්ථානයක් කරා ගෙන්වා ගැනීමට වඩා, ජනතාව අසලටම එන්නත් මධ්‍යස්ථානය රැගෙන යාම මෙම වැක්සීන් බස් සේවයේ අරමුණයි.
රියාඕ පළාතේ අගනුවර වන පෙකන්බාරු රජය පවසන්නේ චීනයේ සීනොවැක් එන්නත මාත්‍රා 12,000ක් බස් රථ මගින් දැනටමත් ලබා දී ඇති බවයි. එහිදී දෛනිකව මාත්‍රා 1,000කට වැඩි ප්‍රමාණයක් බස් රථ ඔස්සේ ලබාදෙන අතර, බස් රථ සංඛ්‍යාව වැඩි කිරීමෙන් එය තවදුරටත් වැඩිකර ගත හැකි බවද බලධාරීන් පවසයි.
වැක්සීන් බස් ව්‍යාපෘතිය කෙරෙහි ජනතාව තුළ උනන්දුවක් තිබුණද බලධාරීන් පවසන්නේ කොවිඩ්-19 එන්නත් පිළිබඳ ඇතැම් දෙනා අතර පවතින වැරදි තොරතුරු සමග සටන් කිරීමටද සිදුව ඇති බවයි.
"ව්‍යාජ ප්රවෘත්ති නිසා එන්නත් ලබා ගැනීම පිළිබඳව සමහර අයට සැකයක් ඇති බව අප නිරීක්ෂණය කර තිබෙනවා." දිස්ත්‍රික් ප්‍රධානී සයිඩ් අහමඩ් සම්සාමි පැවසීය. "මේ එන්නත අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට හොඳ නැතැයි කියන ඇතැම් ව්‍යාජ පුවත් විශ්වාස නොකරන ලෙස අප ජනතාව දැනුවත් කරනවා. දිස්ත්‍රික් ප්‍රධානියා ලෙස තමාද එන්නත ලබාගැනීම නිසා දැන් ජනතාව තුළ විශ්වාසය ක්‍රමයෙන් තහවුරු වී තිබෙනවා."
ලබන වසර වනවිට මිලියන 181.5ක ජනතාවකට එන්නත ලබා දීමට ඉන්දුනීසියාව සැලසුම් කරයි. ඉන්දුනීසියානු ජාතිකයින් මිලියන 11.57ක් පමණක් දැනට එක එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති අතර, චීනයේ සීනොෆාම් සහ සීනොවැක් මෙන්ම ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා මාත්‍රාවන් එසේ ලබාගෙන තිබේ.