පොදු අපේක්ෂකයාට පෙර ප්රජාතන්ත්රවාදී පොදු සන්ධානය, රට ගොඩනගන පොදු වැඩපිළිවෙල, රට ගෙනයන පොදු නායකත්වය ප්‍රකාශ කළ යුතු බව මහානගර අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ගාල්ල කොටුවේ, පැවැති ජාතික මග ගාල්ල සමුළුවට සහභාගී වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මේ රටේ ජනාධිපතිවරණයක් ඕනේ නම්, ඒ ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ ඕනෙනම් ඒ සඳහා මේ සාමාන්‍ය පෙළ, උසස් පෙළවත් සමත් නැති පවුලේ සාමාජිකයෝ හතරපස් දෙනෙක් එකතු කරගෙන ඡන්දයක් කරන්න හිතාගෙන ඉන්නවා නම් ඒ ගොල්ලො මේ රටේ දැන උගත් සමාජයට කරන බලගතු අවමානයක් අපහාසයක්. අද මේ රටට මොකද්ද ඕනේ. මේ රටට අවශ්‍ය අද අපේ ජාතික ආරක්ෂාව තහවුරු කරන වැඩපිළිවෙලක්.
ඒ වගේම සමාජ සාමය. මේ රට හදන්න, රට රකින්න විතරක් නෙමෙයි රට නිවන්න පුළුවන් සමාජ දේශපාලන බලවේගයක්. ඒ වගේම අපේ ණය බර තුරන් කරලා අපේ රට ණය නැති රටක් බවට පරිවර්තනය කරන්න පුළුවන් ආර්ථික කි‍්‍රයාදාමයක්. ඒ වගේම රටේ ජනතාවට යුක්තිය සාධාරණය ඉටුවන නිපුණතාවයට, කුසලතාවයට මුල්තැන දෙන රටේ යුක්තිය සාධාරණය, නීතිය ඉටුවන අවංකත්වය රජයන සමාජයක්.
වාද විවාදවලට, මතවාදවලට පැටලෙන්නේ නැතිව රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන ඉදිරියට ගෙනයන් පුළුවන් ප්‍රායෝගික වාදයක්. ගහකොළ,මහපොළව සතා සිවුපාවත් රැක ගත්ත පරිසරයත් එක්ක එකට යන තිරසර සංවර්ධනයක්.
ඒකට මොකද කෙරෙන්න ඕනේ. මේකට මේ රටේ අද ඉන්නවා, මේ මැතිවරණයේ ඉන්න ලොකුම බලවේගය එක්සත් ජාතික පක්ෂයවත්, පොහොට්ටුවේ පොදුජන පෙරමුණවත්, ජනතා විමුක්ති පෙරමුණවත්, හෙළ උරුමයවත් වෙන පක්ෂ නෙමෙයි අද මේ රටේ තිබෙන ලොකුම බලවේගය.
අද මේ රටේ තිබෙන ලක්ෂ 160 ක ඡන්දයෙන් ලක්ෂ 50 ක්ම ඉන්නේ මොනම පක්ෂයකටවත් බැඳිච්ච නැති නොබැඳි දැන උගත් මිනිසුන් ටිකක් තමයි මේ රටේ. ඒ දැන උගත් මිනිස්සු තමයි අනාගත ජයග්‍රාහකයා තීරණය කරන්නේ. ඒ නිසා එක එක පක්ෂවලට අපේක්ෂකයෝ ඉදිරිපත් කළාට ඒ අය ජය ගන්නේ නැහැ. මේ දැන උගත් ලක්ෂ 50 මොකද කරන්නේ කියන එක ගැන අද රටට අත්‍යාවශ්‍යයි. ඒ නිසා ඒ ලක්ෂ 50 ට රටට අවශ්‍ය වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒවා කරන්නේ කවුද කියන එකත් රටට දැන ගන්න අවශ්‍යයි” අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
