ඉඩම් පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මතවිය යුතු බවත්, වත්මන් ආණ්ඩුවට පාර්ලමේන්තුවේ තුනෙන් දෙකක බලයක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසූයේ අද (29දා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා,
“කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ඉදිවන ඇමෙරිකානු ආර්ථික කොරිඩෝව සඳහා අක්කර ලක්ෂ ගණනක් අවශ්‍ය වෙනවා. මේ ඉඩම් ඇමෙරිකාව විසින් ගොවීන්ගෙන් මිලදී ගැනීමේ යටි අරමුණෙන් තමයි බලපත්‍රලාභීන් විදිහට ඉඩම් භුක්ති විඳින අයට සින්නක්කර ඔප්පු ලබා දෙන්න තීරණය කළේ. ඒ සඳහා ඉඩම් සංර්වධන (විශේෂ විධිවිධාන) පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ.
අපි මේ පනත ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියෝගයට ලක් කරන්න කටයුතු කරන විට ජනතාවට ඉඩම් අයිතිය ලබා දීමට විරුද්ධ වුණොත් ජනතාව පාරට බහින්න ඉඩ තිබෙන බව සමහරු අපට කිව්වා. ජනතාව සමග පාරට බහින බවට අගමැතිවරයා තර්ජනය කළා. නමුත් රට වෙනුවෙන් ජනතාව සමග තරහා වීමේ අවදානම ගන්න අපි තීරණය කළා.
ඉඩම් පළාත් සභා විෂයක් නිසා පළාත් සභාවලට ඉදිරිපත් නොකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැරදි බවට අපි ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ තර්ක කළා. අපේ තර්ක පිළිගනිමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර පනත පළාත් සභාවලට ඉදිරිපත් කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
2012දී ‘දිවිනැගුම’ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේදී අපූරු දෙයක් කියනවා. ඒ තමයි පළාත් සභාව විසුරුවා ඇතිනම් පළාත් සභාව වෙනුවෙන් ආණ්ඩුකාරවරයාට අත්සන් තබන්න බෑ. ඒ නිසා පළාත් සභාවල එකඟතාව ගත නොහැකි නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් අනුමත විය යුතුයි යන්න.
මේ අනුව ඉඩම් සංර්වධන (විශේෂ විධිවිධාන) පනත නීතියක් වීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතර බලයෙන් එය සම්මත විය යුතුයි. මේ ආණ්ඩුව තුනෙන් දෙක තියා සාමාන්‍ය බහුතරය හදාගන්නෙත් බොහොම අමාරුවෙන්. වත්මන් ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතරය ලබා ගැනීම සිහිනයක් පමණයි. ඒ නිසා මේ ආණ්ඩුව ගෙදර යන තුරුම මේ පනත සම්මත කර ගන්න ලැබෙන්නේ නෑ. ඒ සමගම ලංකාවේ ඉඩම් අත්පත් කරගෙන ආරථික කොරිඩෝවක් ඉදි කිරීමත් ඇමෙරිකාවේ සැබෑ නොවන සිහිනයක් වනු ඇති. ඇමෙරිකානු ආක්‍රමණයට එරෙහිව දේශප්‍රේමී බලවේග ලැබූ කුළුඳුල් ජයග්‍රහණයක් ලෙස මේක දක්වන්න පුළුවන්.”
