ඇමෙරිකාවට අවශ්‍ය ලෙස ශ්‍රී ලංකාවේ අධිකරණයට මැදිහත්වීමට නොහැකි බවත් රටේ අධිකරණයට මැදිහත්වීමට තමාටවත් නොහැකි බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය පවසන්නීය.
අධිකරණ කටයුතු සිදුවන්නේ අගවිනිසුරුවරයාගේ මුලිකත්වයෙන් බවත් අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර ඇති බවත් ඇය සඳහන් කළාය.
අමාත්‍යවරිය මෙම අදහස් පළ කලේ 2019 ජාතික සමථ දින රත්නපුර දිස්ත්‍රික් සමරු උත්සවයට අද පෙරවරුවේ (26දා) එක් වෙමිනි.
“විනිසුරුවරුන්ගේ නීතිපති දෙපාර්තමේන්තුවේ අනෙකුත් අධිකරණ ආයතනවල ස්වාධිනත්වය අපි ආරක්ෂා කරලා තියෙනවා. අපේ රජය තුළ තමන් කැමති දේශපාලන මතයන් දරන්න පුළුවන්.මාධ්‍ය නිදහස අධිකරණයේ ස්වාධීනත්වය මානව හිමිකම් නැති වෙලාවක අපි ඒ වෙනුවෙන් පක්ෂයක් ලෙස කැප වුණා.
රටක් ගොඩ නැගී ගෙන එන කොට අවාසනාවන්ත තත්වයකට පත් වුණා. ඕනම කෙනෙකුට අපි හරි දේ කරනවද කියලා හොයා බලන්න පුලුවන් අයිතිය දීලා තියෙනවා. ඒත් ඒක අධිකරණයේ ස්වාධීනත්වයට අත පෙවීමක් නෙමෙයි. අද නොයෙකුත් දෙනා අධිකරණයේ ස්වාධීණත්වයට පහර පිට පහර ගහනවා. විවිධ මාතෘකා කියනවා. එහෙම වෙන්න ඉඩ දෙන්න බැහැ.
නොයෙකුත් දෙනා මාතෘකා මවන්න හදනවා. පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවෙලා පාර්ලිමේන්තුවට ඇවිත් කියනවා අධිකරණය ස්වාධීනත්වය නැහැ කියලා. ඇමරිකානු නීතීඥ සංගමය එක්ක ගිවිසුමකට ගිහිල්ලා අපේ විනිසුරුවරුන් එහෙ එක්කන් ගිහින් නඩු අහන්න කියලා දෙනවා කියලා කියනවා. මම ඒකට හොඳ උත්තරයක් දුන්නා. නමුත් ඒක හරියට මාධ්‍ය වල ගියේ නැහැ. මම කිවුව කථාව හරියට දැම්මේ නැහැ.
මොන විදේශික බලවේග ආවත් අපි යටත් වෙන්නේ නැහැ.අපි අපේ රට ආරක්ෂා කළ යුතුයි. ඇමෙරිකාවට අවශ්‍ය විදිහට ඕන විදිහට අපේ රටේ අධිකරණයට ඇගිලි ගහන්න බැහැ.අපේ රටේ වෙන දේ අපි බලා ගන්නම්.අනික ඒවාට ජනාධිපතිතුමා අගමැතිතුමා ඉන්නවා.අපේ රටේ අධිකරණයට ඇගිලි ගහන්න අපිට බැහැ.ඒවා කරන්නෙ අගවිනිසුරුතුමාගේ මුලිකත්වයෙන්.අධිකරණයේ ස්වාධීනත්වය ඉහළ සිට පහළටම ඇති කරන්න අපිට පුළුවන් වුණා.”
