ඇමෙරිකා එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 වෛරසයට එරෙහි සටනට සහාය ලබාදීම පිණිස ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 4.5කට අධික ආධාර මුදලක් ලබාදෙන බව නිවේදනය කර තිබේ.
ඒ අනුව එක්සත් ජනපදයෙන් මෙම වෛරසයට එරෙහි සටනට මේ දක්වා ලබාදුන් සමස්ත දායකත්වය ඇ.ඩො.මිලියන 5.8ක් වන බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනී ඇලෙයිනා බී.ටෙප්ලිට්ස් මහත්මිය පැවසුවේ, "ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සහ ස්වෛරීත්වය සඳහා එක්සත් ජනපදය විසින් සහාය ලබාදීමේ දීර්ඝ කාලීන සම්ප්රදාය මේ ආධාර තුළින් තවදුරටත් ඉදිරියට ගෙන යනවා. ගෙවීගිය 20 වසර තුළ ශ්‍රී ලංකාවට එක්සත් ජනපදය ලබාදුන් ආධාරවල එකතුව ඇ.ඩො.බිලියනය ඉක්මවන අතර, සෞඛ්‍ය සඳහා ලබාදුන් ඇ.ඩො.මිලියන 26ක්ද ඊට ඇතුළත් වෙනවා" යනුවෙනි.
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) හරහා ශ්‍රී ලංකාවට ලැබෙන්නට සලස්වන මෙම ආධාර මුදලට, පවත්නා අර්බුදයෙන් වඩාත්ම බලපෑමට ලක්වූ ප්‍රදේශ සහ ජනකොටස් වෙත ලබාදෙන සමාජ සේවා වර්ධනය කිරීමටත්, සමාජ ඒකාබද්ධතාව ගොඩනැංවීම සඳහා වන ක්‍රියාකාරකම්වලට සහායවීමටත් ලබාදෙන ඇ.ඩො.මිලියන 2ක්ද ඇතුළත් බව තානාපති කාර්යාලය පවසයි. තවත් ඇ.ඩො.මිලියන 2කින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ශක්තිමත් කිරීමට සහ ආර්ථිකයට කාන්තාවන්ගේ සහභාගීත්වය වර්ධනය කිරීමට කටයුතු කරනු ඇත. අලුතින්ම නිවේදනය කරන ලද මෙම ආධාර මුදලේ කොටසක් වශයෙන් එක්සත් ජනපදය, වසංගතය පවතින අතරතුර අවදානමට පාත්‍ර ජනතාවට උපකාර පිණිස මානුෂීය ආධාර වශඹයෙන් ඇ.ඩො.590,000ක් ලබාදෙන බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.
එමෙන්ම සෞඛ්‍යාධාර වශයෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 1.3ක් ලබාදීම සම්බන්ධයෙන් අප්‍රේල් මස 9දා ඇමෙරිතානු තානාපති කාර්යාලයෙන් නිවේදනය කළ බවත්, එම ආධාර මුදල් විද්‍යාගාර පද්ධති සූදානම් කිරීමටත්, සිද්ධී සොයාගැනීම සක්‍රීය කිරීමට හා සිදුවීම් පාදක ආවේක්ෂණයටත් ප්‍රතිචාර හා පෙර සූදානම සඳහා තාක්ෂණික විශේෂඥයන්ට සහාය ලබාදීමටත් උපකාරී වී ඇති බවත් ඔවුන් පවසයි. ඒ මත පදනම් වෙමින් මෙම නව ආධාර මුදල ලබාදෙන බවද තානාපති කාර්යාලය පවසයි. තවද ආසාදන සඳහා ඇති අවදානම පිළිබඳව වඩාත් සඵලදායී අන්දමින් සන්නිවේදනය කිරීමටත් සෞඛ්‍ය සේවා ආයතන තුළ බෝවන රෝග වැළැක්වීම හා පාලනයටත් එක්සත් ජනපදයෙන් ලැබෙන සහාය තුළින් ශ්‍රී ලංකාවට හැකියාව ලබාදෙන බවද තානාපති කාර්යාලය පෙන්වා දෙයි.