2017 දී එක්සත් ජනපද ජනාධිපතිවරයා සිය ප්‍රථම යුරෝපා සංචාරයේදී වොෂිංටනයේ බටහිර සගයන් කම්පනයට පත්කරනු ලැබුවේ, ගෝලීය ආරක්ෂාව සඳහා ඔවුන්ගෙන් සාධාරණ කොටසක් නොලැබෙන බවට චෝදනා කරමින් සහ ප්‍රසිද්ධියේම යුරෝපා නායකයන්ව ගණනකට නොගෙන පැත්තකට තල්ලු කර දැමීමේ හැසිරීමක් පෙන්වමිනි.
ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ පලුදු වූ මේ සබඳතාව වසර හතරකට පසුව, ඔහුගේ ඩිමොක්රටික් අනුප්‍රාප්තික ජෝ බයිඩන් මිත්‍රත්වයේ දෑත් දිගුකරීමෙන් සහ 'ඇමෙරිකාව යළි පැමිණියා' යන පොරොන්දුව මත පමණක් නොවිසඳෙනු ඇති බව රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෝ පවසති.
මන්දයත් හවුල්කරුවෙකු ලෙස ඇමරිකාවේ විශ්වසනීයත්වය පිළිබඳ දිගින් දිගටම යුරෝපයේ සැකයට බඳුන්වීමට වත්මන් ජනපති බයිඩන්ට සිදුවන බැවිනි. එහිදී දියුණු ආර්ථිකයන් 7ක (G7) කණ්ඩායමේ නායකයන්, නේටෝ සහ යුරෝපා සංගමය එක්සත් ජනපද දේශපාලනයේ සිදුවූ හැළහැප්පීම් ගැන තවමත් කනස්සල්ලට පත්ව සිටින අතර, ට්‍රම්ප්ගේ පාලනය යටතේ ඇතිවූ කම්පනයෙන් පසුව වචනයෙන් නොව, ස්ථිර ක්රියාමාර්ගයකින් ඒ විශ්වාසය ඔවුහු අපේක්ෂා කරන බව විශේෂඥ මතය වී තිබේ.
ට්‍රම්ප් යටතේ සිදු වූ දෙයින් ඇමරිකාවේ හවුල්කරුවන් තවමත් පසුබසිමින් සිටින බව එක්සත් ජනපදයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සහ බර්ක්ලි පර්යේෂණ කණ්ඩායමේ කළමණාකාර අධ්යක්ෂ හැරී බ්රෝඩ්මන් පැවසීය. "නමුත් වත්මන් ජනපති බයිඩන්ගෙන් යුරෝපයට යන සමහර පණිවුඩවලද නොගැලපීමක් දක්නට ලැබෙනවා" බ්රෝඩ්මන් වැඩිදුරටත් පැවසීය.