ඇමෙරිකා එක්සත් ජනපදයේ ධනවත්ම පුද්ගලයන්ගෙන් සමහරක් ආදායම් බදු නොගෙවා ඇති බව පෙන්නුම් කළ මාධ්‍ය වාර්තාවකින් පසුව ඒ පිළිබඳව විමර්ශනය කරන ලෙස එරට භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව අනාවරණය වෙයි.
එක්සත් ජනපද මාධ්‍ය ආයතනයක් වන ප්රොපබ්ලිකා හෙළිකර තිබුණේ, වසර 15කට වැඩි කාලයක් ආවරණය වන පරිදි රටේ සුපිරි ධනවතුන් දහස් ගණනකගේ බදු ප්රතිලාභ පිළිබඳ අභ්‍යන්තර ආදායම් සේවා දත්ත විශාල ප්‍රමාණයක් අනාවරණය කරගත් බවයි. ඒ අනුව ඇමසොන් නිර්මාතෘ ජෙෆ් බෙසොස් සහ ටෙස්ලා නිර්මාතෘ එලොන් මස්ක් ඇතුළු ප්රකෝටිපතියන් වසර ගණනාවක් ෆෙඩරල් ආදායම් බදු නොගෙවූ බව දත්ත පෙන්වා දෙන බව හෙළි වී තිබේ.
කෙසේ වෙතත් ධවල මන්දිර මාධ්‍ය ලේකම් ජෙන් සාකි පැවසුවේ අතිශය රහස්‍ය රජයේ තොරතුරු අනවසරයෙන් හෙළිදරව් කිරීමද නීති විරෝධී ක්‍රියාවක් බවයි.
මේ අතර භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකා ලිලී ඇඩම්ස් ඊමේල් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම කාරණය FBI, ෆෙඩරල් නීතිය ක්‍රියාත්මක කරන්නන් සහ අභ්‍යන්තර භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ නියාමකයන් දෙදෙනෙකු වෙත යොමු කර ඇති බවයි. ඔවුන් සියල්ලන්ටම මෙය විමර්ශනය කිරීමට ස්වාධීන බලයක් ඇති බව ප්‍රකාශිකාව පැවසීය.
භාණ්ඩාගාර දෙපාර්තමේන්තුවේ කොටසක් වන IRS යනු එක්සත් ජනපද බදු එකතු කිරීමේ ආයතනය වන අතර, එහි බොහෝ බදු වාර්තා රහස්‍ය ලේඛන ලෙස සැලකෙයි. ඒ අනුව මෙම දත්ත මාධ්‍යයට හෙළිවීම ගැනද IRS කොමසාරිස් චාල්ස් රෙටිග්ද පරීක්ෂණයක් සිදුකරන බව සනාථ කළේය.
"නිසැකවම අපි එය ඉතා බැරෑරුම් ලෙස සලකනවා" සාකි කෙටි සාකච්ඡාවකට එක්වෙමින් පැවසීය.
කෙසේ වෙතත් මේ හෙළිදරව්ව සිදුකළ ප්රොපබ්ලිකා විසින් වාර්තා රහස්‍ය ලෙඛන ලෙස විස්තර කර ඇති නමුත්, ඒවා ලබාගත් ආකාරය අනාවරණය කර නැත.
සෙනෙට් මූල්‍ය කමිටුවට සාක්කි දෙමින් රෙටිග් මේ පිළිබඳව අවධානය යොමු කළේය.
"නිශ්චිත බදු ගෙවන්නන් සම්බන්ධයෙන් මට කිසිවෙකු සමග කතා කිරීමට බැහැ. එම ලිපියේ තොරතුරු මූලාශ්‍රය ලැබුණේ අභ්‍යන්තර ආදායම් සේවයෙන් බවට වන චෝදනාවන්ට අදාළව පරීක්ෂණයක් ඇති බව මට තහවුරු කිරීමට පුළුවන්" යනුවෙන් රෙටිග් පැවසීය.