මෙම සතිය මුලදී හොංකොං සහ යුරෝපයෙන් ලැබුණු වාර්තාවලින් පසුව එක්සත් ජනපදයේදීද නව කොරෝනා වෛරසය යළිත් වරක් (දෙවැනි වරටත්) ආසාදනය වූයෙකු ප්‍රථම වරට හඳුනාගෙන තිබේ.
25 හැවිරිදි නෙවාඩා හි වැසියෙකුට මෙසේ කොවිඩ්-19 රෝග ලක්ෂණ ඇති බව අප්‍රේල් මස මුලදී හඳුනා ගැනුණු අතර, පසුව සුවය ලබා දෙවරක් සෘණාත්මක පරීක්ෂණයක්ද සිදුකර තිබුණි.
කෙසේ වෙතත් පසුව ජුනි මාසයේදී ඔහු යළිත් වරක් වෛරසය සඳහා ධනාත්මක වී ඇති බව පැවසෙන අතර, එවර ඔහුගේ රෝගය උත්සන්න වී නිව්මෝනියා තත්ත්වයක්ද සමග ඔක්සිජන් පවා ලබාදී තිබේ.
මෙම සොයාගැනීම විද්‍යාඥයන් විසින් තවම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර හෝ සමාලෝචනය කර නොමැති වුවත් එම තොරතුරු පර්යේෂණ අඩවියක පළ කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
මේ වනවිට එක්සත් ජනපදයෙන් වාර්තා වන සමසත් කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව හැට ලක්ෂයේ සීමාවට පැමිණ ඇති අතර, වෛරසය ආශ්රිත මරණ සංඛ්‍යාව 181,800ක් දක්වා ඉහළ ගොස් තිබේ.