ඇමෙරිකාවේ නිල වශයෙන් වාර්තා වූ පළමු වැනි කොවිඩ්-19 ආසාදිත සිද්ධිය වාර්තා වීමට සති කිහිපයකට පෙර, රටේ ප්‍රාන්ත 5ක අවම වශයෙන් පුද්ගලයන් 7 දෙනෙකු වෛරසය ආසාදිතව සිට ඇති බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
ඒ අනුව 2019 දෙසැම්බර් මාසය වනවිටත් ඇමෙරිකා එක්සත් ජනපදය තුළ කොවිඩ්-19 රෝගීන් සිට ඇති බව මෙම අධ්‍යයනය පෙන්වා දෙයි.
ඉලිනොයිස්, මැසචුසෙට්ස්, මිසිසිපි, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් යන ප්‍රාන්තවල 2020 ජනවාරි 02දා සිට මාර්තු 18දා දක්වා කාලය තුළ ජාතික සෞඛ්‍ය ආයතන පර්යේෂණ වැඩසටහනක් සඳහා ලබාගත් සාම්පල 24,000කට වැඩි ප්‍රමාණයක් මෙම අධ්‍යයනයේදී සලකා බලා තිබේ.
SARS-CoV-2 වලට එරෙහිව ප්‍රතිදේහ වාර්තා කළ සහභාගිවන්නන් ඔවුන්ගේ සාම්පල ලබාගැනීමට අවම වශයෙන් සති කිහිපයකට පෙර වෛරසයට නිරාවරණය වී ඇති බව අනාවරණය වී ඇත.
එරට නිල වශයෙන් පළමු වරට තහවුරු කරන ලද කොරෝනා වෛරස ආසාදිතයා 2020 ජනවාරි 24දා වාර්තා වූ බව කියවුණත්, මෙම නවතම අධ්‍යයනයේදී පරීක්ෂා කළ සාම්පලවලින් හඳුනාගත් ආසාදිතයන් හත් දෙනාගෙන්හ තිදෙනෙකු ඉලිනොයිස් හි පදිංචිකරුවන් බව කියයි. ඉතිරි ප්‍රාන්තවල එක් ආසාදිතයා බැගින් හඳුනාගෙන ඇත. මෙම සාම්පල ජනවාරි 7දා සහ 8දා එකතු කර ඇති බව කියැවෙයි.
දත්තවලට අනුව කොවිඩ්-19 වෛරසය එක්සත් ජනපදයේ ප්‍රාන්තවල ආරම්භක උණුසුම් ස්ථාන මෙන්ම, රට තුළට පිටස්තරව වෛරසය ඇතුළු වූ ස්ථාන ලෙස සලකනු ලැබූ ප්‍රදේශවලට වඩා බෙහෙවින් දුරස්ව හමුවීමද සැලකිය යුතු තත්ත්වයක් බව මෙම නවතම අධ්‍යයනය පෙන්වා දෙයි.