ඇමෙරිකා එක්සත් ජනපදයේ ආරක්ෂිතව නිවස්නය ලෙස සැලකෙන ධවල මන්දිරයේ සේවකයන් කිහිප දෙනෙකුම කොවිඩ්-19 වෛරසයට ගොදුරුවීමත් සමග ධවල මන්දිර කොරෝනා කාර්ය සාධක බලකායේ ප්‍රධානීන් තිදෙනෙකුද නිරෝධායනයට යොමුකොට තිබේ.
ඇමෙරිකාවේ බෝවන රෝග පිළිබඳ ජ්‍යෙෂ්ඨතම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනී ෆවුසිද මේ ආකාරයෙන් විශේෂ නිරෝධානයකට යොමුකොට ඇත.
ඔහු ධවල මන්දිරයේ කොවිඩ්-19 ධනාත්මක බව පරීක්ෂා කළ සේවකයන් සමග සෘජුවම සබඳතා නොපැත්වූවත්, නිරෝධායනයට යොමු වූ බව වෛද්‍යවරයා මාධ්‍ය වෙත පවසා තිබුණි.
එමෙන්ම තමන් වහාම කොවිඩ්-19 පරීක්ෂණයට යොමුවූ බවත් එහිදී සෘණාත්මක පරීක්ෂාවක් සටහන් වුවද නිරෝධායනය අනිවාර්යය බව ඔහු කීවේය.
ඒ අනුව ඉදිරියේදී නිවසේ සිට ජාලගතව සිය රාජකාරී කටයුතු අරඹන බවත්, ඊට අමතරව ජාතික ආසාත්මික සහ බෝවන රෝග පිළිබඳ ආයතනය වෙතද යමින් (දැනට එහි රාජකාරී කරන එකම පුද්ගලයා ඔහුය.) සිය සේවය අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බවත් ඔහු පවසා සිටියේය. කෙසේ වෙතත් මේ කාලය තුළ දිගටම ඔහුව කොවිඩ්-19 පරීක්ෂණයට වරින් වර බඳුන් කරනු ඇති බව කියැවේ.
මේ ආකාරයෙන් කොවිඩ්-19 අවදානම සමග නිරෝධායනයට ලක්වූ ධවල මන්දිර කොරෝනා කාර්ය සාධක බලකායේ එකම පුද්ගලයා ඔහු පමණක් නොවෙයි. එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ රොබට් රෙඩ්ෆීල්ඩ් සහ එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන කොමසාරිස් වෛද්‍ය ස්ටීවන් හාන්ද ඒ අතර වෙති.
කොවිඩ් -19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කළ ධවල මන්දිර සේවකයෙකුට නිරාවරණය වීමෙන් පසු ඉදිරි සති දෙක නිරෝධායනයට ලක්වෙමින් ජාලගතව සිය සේවය සලසන බව එක්සත් ජනපද රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ රොබට් රෙඩ්ෆීල්ඩ් පවසා සිටියේය.
ඒ ආකාරයෙන්ම ධවල මන්දිරයේ ධනාත්මක බව පරීක්ෂා කළ සේවකයෙකු හා සම්බන්ධ වූ එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලන කොමසාරිස් වෛද්‍ය ස්ටීවන් හාන් මේ වනවිට නිරෝධානයට යොමුව තිබේ. මෙම නිලධාරීන් දෙදෙනාම ධවල මන්දිරයේ කොවිඩ්-19 ආසාදිත කවරෙකු හා සම්බන්ධ වූයේද යන්න ධවල මන්දිරය සඳහන් කොට නැත.