පාසල්වල ආරක්ෂාව තහවුරු කරන බව පවසමින් දරුවන් පාසල් බෑග් ගෙන ඒම වැළැක්වීමට හෝ ඒ වෙනුවට ආදේශක ලෙස වෙනත් දෑ මිලදී ගන්නැයි බල කරමින් දරුවන් හා මවුපියන් අපහසුතාවයට පත්වන අන්දමේ සිදුවීම් කීහිපයක් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයට තොරතුරු ලැබී ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
අද (23) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කිරිමක් සිදු කළේය.
ආරක්ෂක උපකරණ මිලදී ගැනීමට යැයි පවසමින් ඇතැම් කණ්ඩායම් පාසල් දරුවන් හා මවුපියන් අපහසුතාවට පත් කරමින් මුදල් එකතු කරන බවට ලැබී ඇති තොරතුරු සම්බන්ධයෙන් ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ සෘජු අවධානයට ලක් වි ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයෙන් එවැනි කිසිදු උපදෙසක් හෝ අනුමැතියක් ලබා දී නොමැති කරුණු සම්බන්ධයෙන් සිසුන් හා මවුපියන් අපහසුවට පත්වන අයුරින් යම් පුද්ගලයකු හෝ කණ්ඩායමක් හෝ කටයුතු කරන්නේ නම් ඒ පිළිබඳව වහාම සොයා බලන ලෙසට අධ්‍යාපන අමාත්‍යවරයා අධ්‍යාපන ලේකම් නිහාල් රණසිංහ මහතාට උපදෙස් ලබා දි ඇත.
පාසල් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බලකා නිලධාරීන් මෙන්ම විදුහල්පතිවරු, ගුරුවරුන් හා මවුපියන් ද දැඩි කැපවිමකින් කටයුතු කරන බවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ ක්‍රියාකාරකම් හේතුවෙන් පද්ධතිය තුළ අනවශ්‍ය ගැටලු නිර්මාණය වීම කනගාටුදායක කරුණක් බවඳ සඳහන් කළේය.
මෙවැනි අවස්ථාවක දරුවන් හා මවුපියන් අපහසුතාවයට පත් නොකරමින් කටයුතු කිරීම සියලු දෙනාගේ වගකීම බවද සිසුන් හා මවුපියන් අපහසුතාවට පත් කරමින් සිදුවන මෙවැනි ක්‍රියාවන් පිළිබඳව තොරතුරු වෙතොත් අධ්‍යාපන අමාත්‍යාංශයේ 1988 දරන දුරකථන අංකයට පැමිණිලි කරන ලෙසද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
කෂිනි හපුආරච්චි
