මෙරට පෞද්ගලික ආදායම් බදු ලිපිගොනු ලක්ෂ 05ක් තිබුණද, එයින් බදු ගෙවනු ලබන්නේ 31,000ක් පමණක් බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. මෙරට සීමිත සමාගම් 105,000ක් ලියාපදිංචි වී ඇති නමුත් එම සමාගම්වල බදු ආදායමෙන් 82%ක් ලැබෙනුයේ සමාගම් 382කින් බවද, ඒ මහතා පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ණය ලබා දීමේදී සැපිරිය යුතු කරුණු වන රටේ උද්ධමනය, රටේ සංචිත ප්‍රමාණය සහ රාජ්‍ය ආදායම පිළිබඳ දෙවැනි සමාලෝචනය කිරීම් සිදු කරන දෙසැම්බර් මාසය වන විට ප්රශස්ත තත්ත්වයක පවත්වා ගැනීම වැදගත් වන බවත් සභාපතිවරයා මෙහිදී අවධාරණය කළේය.
ඒ නිසා රාජ්‍ය ආදායම වැඩි කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශිය ආදායම් දෙපාර්තමේන්තුව යන ආයතන සමග සිය කමිටුව නිරන්තර සාකච්ඡා පවත්වමින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ කටයුතු කරන බවද සභාපතිවරයා පැවසීය.
ඒ මහතා මේ කරුණු සඳහන් කළේ ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
උක්ත බදු අදායම් ඒකරාශී කර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අපොහොසත් වීම පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දැක්වූ සභාපතිවරයා මෙම බදු ආදායම් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට පියවර ගන්නා ලෙසත්, කාරක සභාව ලෙස ඒ සම්බන්ධව සාධනීය මැහත්වීම් සිදුකරමින් පවතින බවත් සඳහන් කළේය.
මේ වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට අයවීමට ඇති හිඟ බදු මුදල වන රුපියල් බිලියන 904ක මුදල අයකර ගැනීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. බදු ආදායම් අයකර ගැනීම ක්‍රමවත් කිරීම සඳහා දේශීය ආදායම් බදු පනත සංශෝධනය කිරීමටත්, බදු අභියාචනා කොමිෂන් සභාව අහෝසි කිරීම පිළිබඳවත් අධිකරණ අමාත්‍යවරයා සමග සාකච්ඡා සිදු කරමින් පවතින බවද සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එයට අමතරව දැනට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තුළ පවතින සේවක පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහාද සිය සහාය උපරිමයෙන් ලබා දෙන බවද අලුත්ගමගේ මහතා පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා සිය දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂ්ම කර ගැනීම සඳහා ජාතික ආර්ථික හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් ලැබෙන සහයෝගය අගය කළේය.
2023 වර්ෂය සඳහා රජය විසින් ලබා දී ඇති බදු ආදායම් ඉලක්කය වන රුපියල් ට්‍රිලියන 1.6 ක මුදල මුල් මාස 6 තුළ 40%ක් ලෙස සහ ඉතිරි මාස 6තුළ 60%ක් වශයෙන් ඉපයීමට අපේක්ෂිත වූ බවත්, මුල් මාස 6ට අදාළ ඉලක්කය මේ වන විට සපුරා ඇති බවත් කොමසාරිස්වරයා සඳහන් කළේය. එයට අමතරව ඉතිරි මාස 6 දී අපේක්ෂිත බදු ආදායම් උපයා ගැනීම සඳහා කටයුතු කරමින් පවතින බවද ඒ මහතා පැවසිය.
මෙහිදී සභාපතිවරයා සඳහන් කළේ බදු අදායම් ලැබීම නියාමනය කිරීම සඳහා ක්‍රමවත් යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අවශ්‍ය බවයි. මෙහිදී සාමාජික මන්ත්‍රීවරුන් මෙන්ම නිලධාරීන්ද පෙන්වා දුන්නේ මෙරට සමාගම් ලියාපදිංචි කිරීම සඳහා ලබා දෙන දත්ත සත්‍ය ඒවා නොවීම හේතුවෙන් බදු අය කරගැනීමේදී ගැටලුවලට මුහුණ පෑමට සිදු වන බවයි.