බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ ආරම්භ වුණි.
එහිදී පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතාගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුවි ඇත.
ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ වසන්ත පෙරේරා මහතාගේ මෙහෙයවීම යටතේ සාක්ෂි දුන් මුසම්මිල් මහතා කියා සිටියේ, ඉකුත් මාර්තු මස විත්තිකාර අසාද් සාලි මහතා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සිදුකළ ප්‍රකාශයක් මඟින් ජාතීන් අතර ගැටලුවක් මතු වියහැකි බවට හැඟීමක් තමන් තුළ ඇතිවීම හේතුවෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවය.
අදාළ මාධ්‍ය සාකච්ඡාවේදී අසාද් සාලි මහතා රටේ නීතිය පිළිනොගන්නා බව පැහැදිලිව ප්‍රකාශ කළ බවත් එම වෛරී ප්‍රකාශය සම්බන්ධයෙන් තමන් පැමිණිලි කිරීමට කටයුතු කළ බවත් මුසම්මිල් මන්ත්‍රීවරයා සාක්ෂි දෙමින් කියා සිටියේය.
ඉන් අනතුරුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන නිමල් පියතිස්ස මහතා ද සාක්ෂි ලබා දුනි.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කරගැනීම එළඹෙන 09 වනදා තෙක් කල් තබා ඇත.
අද නඩු විභාගය සඳහා විත්තිකාර අසාද් සාලි මහතා බන්ධනාගාර නිලධාරින් විසින් රෝද පුටුවකින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.