පාසල් පද්ධතියේ ගුණාත්මකභාවය පවත්වා ගෙනයාම වෙනුවෙන් සුදුසුකම් සහිත විශිෂ්ට නායකත්ව හා කළමනාකරණ හැකියාවන්ගෙන් යුත් විදුහල්පතිවරුන්ගේ දායකත්වය ලබාගැනීම පිණිස අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තුන්වැනි ශ්‍රේණියට නවක විදුහල්පතිවරුන් 1858ක් බඳවාගැනීමට පසුගිය දා පියවර ගනු ලැබූ අතර, එම විදුහල්පතිවරුන් සේවාරම්භක පුහුණුව යොමු කිරීම ඔක්තෝබර් 02 සිට ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත.
2019-10-02 සිට 2019-01-13 දින දක්වා පැවැත්වෙන මෙම සේවාරම්භක පුහුණුව අදියර හතරකින් ක්‍රියාවට නැංවෙන ඇත.
ඒ අනුව, පළමු අදියර යටතේ මෙම ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පුහුණුව සඳහා ලියාපදිංචි කරගැනීම මහරගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සහ මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ දී අධ්‍යාපන ලේකම් එම් එන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එදින සිදුකෙරේ.
මෙම විදුහල්පතිවරුන් කලාප අධ්‍යාපන කාර්යාල තුළ එක් දින පුහුණුවකට ද යොමු කෙරෙන අතර, දෙවැනි අදියරේ දී පළාත් සමායෝජකයින්ගේ සම්බන්ධීකරණයෙන් පාසල් වෙත අනුයුක්ත කර සති දෙකක පුහුණුවක් ලබාදීමට ද, තෙවැනි අදියරේ දී පළාත් පුහුණු මධ්‍යස්ථාන තුළ සති දෙකක නේවාසික පුහුණුවක් ලබාදීමට ද, සිවුවැනි අදියරේ දී වැඩ කරන දින හතක නේවාසික නොවන පුහුණුවකට ද මෙම විදුහල්පතිවරුන් යොමු කෙරේ.
රටේ දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් සුරක්ෂිත කිරීම වෙනුවෙන් ගනු ලබන තීන්දු තීරණ කුමන හේතුවක් නිසාවත් කල් නොදමා ක්‍රියාවට නැංවිය යුතු බව ද, සැප්තැම්බර් මාසයේ දී අධ්‍යාපන පද්ධතියට බඳවාගත් මෙම ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් ද ඉතා ඉක්මණින් පාසල් පද්ධතිය වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස තමා නිලධාරීන් වෙත උපදෙස් ලබාදෙනු ලැබුවේ ඒ නිසා බව ද අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
සේවාරම්භක පුහුණුව ලබා පාසල් පද්ධතියට අලුතින් එක්වන මෙම ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් 1858ත් සමඟ 2015 වසරේ සිට මේ දක්වා මෑතකාලීනව අධ්‍යාපන පද්ධතිය වෙත බඳවාගත් ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් සංඛ්‍යාව 5,759 දක්වා ඉහළ නැංවෙයි.
කෂිනි හපුආරච්චි
