ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරීමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධ නියෝගය ලබන 24 වැනිදා ප්‍රකාශයට පත් කරන බව පළමු ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය අද (21) දැනුම් දුන්නේය.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම සිංගප්පුරු පුරවැසියකු වන මෙම නඩුවේ 10 වැනි විත්තිකාර අජහාන් ගාර්දිය පුංචිහේවා නැමැත්තාට සිතාසි නිකුත් කිරීම සම්බන්ධයෙන් වු නියෝගයද එදින ප්‍රකාශයට පත් කරන බව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය වැඩිදුරටත් දැනුම් දුන්නේය.
මෙම නඩුව කැඳවනු ලැබු අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස දැනුම් දුන්නේය.
මෙම නඩුව සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නිකුත් කොට තිබු සිතාසි වලට අනුව මෙම නඩුවේ විත්තිකරුවන් දසදෙනාගෙන් හත්දෙනෙකු අධිකරණයේ පෙනී සිටියහ.
රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවු මෙම බැඳුම්කර වංචාවෙන් රටේ ආර්ථිකයට සිදුවු අහිතකර බලපෑම, බැඳුම්කර වංචාවේ බරපතළකම මෙන්ම සංකීර්ණත්වය සැලකිල්ලට ගනිමින් නීතිපතිවරයා මෙම නඩුව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කොට ඇත.
පළමු ස්ථිර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන ලද්දේ සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් මෙම නඩුවේ විනිසුරුවරුන් වශයෙන් කටයුතු කරයි.
2015 පෙබරවාරී මස 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකළ භාණ්ඩාගාර බැදුම්කර නිකුතුවේදී භාණ්ඩාගාර බැඳුම්කර වංචා කිරීම සඳහා පොදු අරමුණක් සහිතව කටයුතු කිරීම ඒ අනුව භාණ්ඩාගාර බැඳුම්කර වංචා කිරීම එමඟින් රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදු කිරීම, ඒ සඳහා අධාර අනුබලදීම ඇතුළු චෝදනා 23ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඩු පවරා ඇත.
මෙලෙස චෝදනා නඟා ඇත්තේ ශ්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති ලක්ෂමන් අර්ජුන් මහෙන්ද්‍රන්, මහා බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයකු වන පත්තිනිගේ සමරසිරි, පර්පචුවල් ට්‍රේෂරිස් සමාගම, එහි අධ්යක්ෂ අර්ජුන් ජෝශප් ඇලෝසියස්, එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් ඕෂධී පළිසේන, එහි සභාපති ජෙෆ්රි ජෝශප් ඇලෝසියස්, එම සමාගමේ සේවකයින් වන පුෂ්පමිත්ර ගුණවර්ධන, චිත්‍රා රංජන් හුලූගල්ල, මුත්තුරාජා සුරේන්ද්‍රන් සහ අජහාන් ගාර්දිය පුංචිහේවා නමැත්තන්ට එරෙහිවය.
විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්කිකරුවන් 115 දෙනෙකු හා ලේඛණ 236ක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
