අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් එක් අයෙකු අතුරුදහන්ව ඇති බවත්, තවත් පවුල් 136ක පුද්ගලයන් 551 දෙනෙකු අද (03) වනවිට අවතැන්ව ඇතැයි නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා පවසයි.
නායායම්, ගංවතුර ගැලීම්, ගස් හා ගල් පෙරළීම් වැනි ආපදා තත්ත්වයන් නිසා මෙම පිරිස් අවතැන්ව ඇති බවත් ඔවුන් දැනට අවතැන් කඳවුරු පහක තාවකාලිකව නවතා ඇති බවද ඒ මහතා පැවසීය.
වලපනේ ආදාවෙල , නාරංතලාව, හරස්බැද්ද විහාරස්ථානවල සහ නුවරඑළිය ලිපකැලේ වත්තේ ළමා සුරැකුම් මධ්‍යස්ථානයේ මෙම අවතැන් පිරිස් රඳවා සිටින බවද ඒ මහතා පැවැසීය.
වලපනේ, මලපට්ටාව නායයාමේ අනතුරින් මියගිය පුද්ගලයන්ගේ අවමඟුල් කටයුතු සිදු කරගැනීමට රුපියල් 75, 000ක මුදලක් දිස්ත්‍රික් ආපදා සහන සේවා මධ්‍යස්ථානයෙන් ලබාදී ඇති බවත්, මියගිය එක් අයෙකුට රුපියල් 250,000ක මුදලක් වන්දි වශයෙන් මියගිය අයගේ ළඟම ඥාතියෙකුට ලබාදීමට පියවර ගෙන ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පැවසීය.
අවතැන් කඳවුරුවල සිටින පිරිස් සඳහා ආහාර ඇතුළු අනෙකුත් අවශ්‍ය සියලුම පහසුකම් සපයාදීමට පියවර ගෙන ඇති බවත්, වලපනේ, මුංවත්ත, මලපට්ටාව ප්‍රදේශයේ නායයාමෙන් අතුරුදහන්ව සිටින කළණ පැතුම් සිසුවාගේ සිරුර අද (03) දහවල් වනවිටත් සොයා ගැනීමට නොහැකිව පැවැති බවද නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් එම්. බී. ආර්. පුෂ්පකුමාර මහතා වැඩිදුරටත් පැවැසීය.
ශාන් හුලංනුගේ
