ඔස්ට්‍රේලියානු රජයෙන් ලැබුණු ලක්ෂ 500ක ණය ආධාරයක් යටතේ අනුරාධපුර ශික්ෂණ රෝහලට ලබා ගත් සායනික අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති සඳහා ස්ථාපිත කළ මොටා මයිසර් යන්ත්‍රය මේ වන විට සුදු අලියකු බවට පත්ව ඇති බවත්, ලක්ෂ 65 අධික විදුලි බිලක් ඒ සඳහා මේ වන විට ගෙවා ඇති බවත් එය සවිකිර කිරීම සඳහා ලක්ෂ 100ක පමණ මුදලක් වැය වුවද එය දැනට අකර්මන්‍ය තත්ත්වයේ පවතින බව අනුරාධපුර රෝහලේ ප්රගතිශීලී සෞඛ්‍ය සේවා සංගමය පවසයි.
මසකට එක් ලක්ෂ පනස් දහසක පමණ විදුලි බිල සදහා වැයවන මෙම මෙටාමයිසර් සායනික අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතිය තවදුරටත් නඩත්තු නොකරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින බව අනුරාධපුර රෝහලේ ප්රගතිශීලී සෞඛ්‍ය සේවා සංගමයේ ප්රචාරක ලේකම් තිලක් ක්‍රිෂාන්ත මහතා පැවසීය.
"ඕස්ට්‍රේලියානු රජයේ ණය ආධාර මත ශ්‍රී ලංකාවේ රෝහල් සඳහා සායනික අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති ස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙළ යටතේ ඕස්ට්‍රේලියාවෙ බයෝමෙඩ් ආයතනය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර ඇති කර ගත් ගිවිසුමකට අනුව 2019 වර්ෂයේ දී එවකට සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් රුපියල් ලක්ෂ පන්සීයක් පමණ වැයකර තමයි අනුරාධපුර ශික්ෂණ රෝහල තුළ ද මෙම මෙටාමයිසර් යන්ත්‍රය ස්ථාපිත කර තිබෙන්නේ,
මීට අමතරව මෙම යන්ත්‍රය රෝහල තුල ස්ථාපිත කිරීම සඳහා රුපියල් ලක්ෂ සීයක පමණ මුදලක් වැය වී තිබෙනවා. විදුලි බිල වශයෙන් මේ දක්වා රුපියල් ලක්ෂ 60කට ආසන්න මුදලක් ගෙවා තිබෙනවා. මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට මසකට අවම වශයෙන් රුපියල් 150,000 පමණ විදුලි බිලක් ගෙවීමට අනුරාධපුර රෝහලට සිදු වනවා.
මෙම යන්ත්‍රය සඳහා ඇතුළත් කරනු ලබන සායනික අප ද්‍රව්‍ය විෂ බීජ හරණය පමණක් සිදු කොට එහි ස්වභාවය වෙනස් කොට කසල ලෙසම ආයතනය තුළ ගොඩ ගැසීමට සිදුව තිබෙන අතර මේ තුළින් හමන දුර්ගන්ධය හේතුවෙන් රෝහල අවට නිවෙස් වල සිටින දරුවන් සහ වැඩි හිටියන්ට ස්වසන ආබාධ ඇතිවන බවද අනාවරණය වී තිබෙනවා.
මෙම මෙටා මයිසර් යන්ත්‍රය මේ වන විට, මාස කීපයක සිට අකර්මණ්‍ය වී තිබෙනවා. යන්ත්‍රය නිරන්තරව කාර්මික දෝෂවලට ලක්වනවා. මෙය රෝහලට දරා ගත නොහැකි වියදමක්, මෙවැනි යන්ත්‍ර විස්සක් දිවයිනේ රෝහල් විස්සක ස්ථාපිත කර වෙනවා. එම සියලුම යන්ත්‍ර ද මේ ආකාරයෙන් කාර්මික දෝශ වලට ලක්ව තිබෙන බව අප කළ සොයා බැලීමකදී අනාවරණය වුණා."
මෙම යන්ත්‍රය සම්බන්ධයෙන් විමසීමක් කිරීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය දුලාන් සමරවීර මහතාට ඊයේ (1දා) පස්වරුවේ ඇමතුම් කිහිපයක් ලබා ගත්තද ඒ මහතා දුරකථනයට ප්‍රතිචාර නොදැක්වීය.
