Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ADA
2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා
2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා
අප බැඳී සිටින්නේ රටේ ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු සමඟ පමණයි
ශ්‍රී ලංකාවේ නව පරිවර්තනයක් වෙනුවෙන් තැබූ පියවර ආපසු හරවන්නේ නැහැ
වසරක් වැනි කෙටි කාලයක් තුළ රටේ සියලු ක්ෂේත්රවල තීරණාත්මක හැරවුමක් සනිටුහන් කළා
– ජනපති එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ පැවති හමුවේදි පවසයි
තමා බැඳී සිටින්නේ රටේ ජනතාවගේ අපේක්ෂා සහ බලාපොරොත්තු සමඟ පමණක් බවත්, මීට වසරකට පෙර වත්මන් රජය බලයට පත් කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටු කිරීමේදී කිසිවෙකුගේ බලපෑම්වලට යටත් වීමට සූදානම් නොමැති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.
රටේ ආර්ථික ස්ථාවරත්වය, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ඇති කිරීම සහ වංචා දූෂණ අවසන් කිරීම, මත්ද්‍රව්‍ය සහ බැඳුණු සංවිධානාත්මක අපරාධ මැඬපැවැත්වීම සහ යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීමේදී වසරක් වැනි කෙටි කාලයක් තුළ තීරණාත්මක හැරවුමක් වත්මන් රජය සනිටුහන් කර තිබෙන බවත්, සියලු ක්ෂේත්රයන්හි ලැබූ මෙම ජයග්‍රහණ ඉදිරියටම ගෙන යනවා මිස කිසිසේත් ආපසු නොහරවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම, රට හමුවේ ඇති ඊළග අභියෝගය වන්නේ ලබා ගත් එම ආර්ථික ජයග්‍රහණ රටේ සාමාන්‍ය පොදු ජනතාව වෙත ගලා යාමට සැලැස්වීම බවත්, එළැඹෙන වසරේ අයවැය ලේඛනය සකස් කරනු ලබන්නේ එම අරමුණ ඇතිව බවත් ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ඇමරිකා එක්සත් ජනපදයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව සමඟ නිව්යෝර්ක් නුවර ස්ටැටන් අයිලන්ඩ් කලා විද්‍යාල මධ්‍යස්ථානයේ එ.ජ වේලාවෙන් (25) පස්වරුවේ පැවති හමුවට එක් වෙමිනි.
නිව්යෝර්ක් නුවර පිහිටී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය සංවිධානය කර තිබූ මෙම හමුවට එරට වෙසෙන ශ්‍රී ලාංකික වෘත්තීයවේදීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. ඔවුන් විසින් මතු කළ අදහස් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, ශ්‍රී ලංකාවේ නව ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කැපවීම ඔවුන් ඇගයීමට ලක් කළහ.
මේ වන විට ශ්‍රි ලංකාව තුළ සිදු කෙරෙන නව ආර්ථික, සමාජයීය සහ දේශපාලන පරිවර්තනය පිළිබඳ මෙහිදී වැඩිදුරටත් ඔවුන් දැනුවත් කළ ජනාධිපතිවරයා, නොබියව ශ්‍රී ලංකාවට පැමිණ ආයෝජන සිදු කරමින් රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට දායක වන ලෙසද ඉල්ලා සිටියේය.
මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව පහත දැක් වේ.
"ඇයි ඔබ එතෙක් පැවති පාලනය අවසන් කර නව පාලනයක් ගොඩනඟා ගැනීමට කටයතු කළේ? එම තීන්දුව සාමාන්‍ය තීන්දුවක් නොවෙයි. අපි පරම්පරාවෙන් දේශපාලනයට උරුමකම් කිවූ කණ්ඩායමක් නොවෙයි, 2019 මැතිවරණයේදී 3%ක ඡන්ද ප්‍රතිඵලයක් හිමිව තිබූ ව්‍යාපාරයක්. හැබැයි, 2024 ජනාධිපතිවරණයේදී සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගත්තා. ඒ වගේම පසුව පැවති මහමැතිවරණයේදීත් ලංකා ඉතිහාසයේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ වැඩිම මන්ත්‍රීවරු සංඛ්‍යාවක් පාර්ලිමේන්තුව නියෝජනය කරමින් විශාල ජයග්‍රහණයක් ලබා ගත්තා.
එම ජයග්‍රහණයට දැන් වසරක් ගත වී තිබෙනවා. මේ ආණ්ඩුව ගොඩනැඟුවේ කුමක් අරමුණු කරගෙනද? ඒ අරමුණට සාපේක්ෂව ප්‍රතිඵල ලැබී තිබෙනවද? නැද්ද? යන්න පදනම් කර ගනිමින් පසුගිය වසර පිළිබඳ පසුවිපරම් කළ යුතුයි කියා මම සිතනවා. හැබැයි, මේ පාලනය ගොඩනැඟීම සඳහා කිසිසේත්ම දායක නොවූ සහ ඊට එරෙහි වූ කණ්ඩායම්වල නිර්ණායක මත අපි මැනෙන්න සූදානම් නැහැ. අපිව විනිශ්චය කළ යුත්තේ මේ පරිවර්තනය ඇති කිරීමට හේතු වූ සාධක විසිනුයි.
ඔබ විදෙස්ගතව ජීවත් වුවත් අපේ රටේ 2022/2023 වසර පිළිබඳ ලියනවා නම්, එය රට බංකොලොත්භාවයට පත් වූ කාලවකවානුව ලෙස ලියැවෙනවා. 2022 අප්‍රෙල් 12 වන දා රජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කළා අපි ණය ගෙවන්නේ නැහැ කියලා. සියල්ල බිඳ වැටෙන්න පටන් ගත්තා. සංවර්ධන ව්‍යාපෘති අතරමඟ නතර වුණා, වෘත්තීයවේදීන් රට හැර යාමට පටන් ගත්තා. සාමාන්‍ය ජනතාවට දෛනික ජන ජීවිතය පවත්වාගෙන යාමට තරම් ආදායමක් නොමැති තත්ත්වයක් නිර්මාණය වුණා. ආර්ථික වශයෙන් රටකට විය හැකි සියලු විපත්තිදායක තත්ත්වය ඇති වුණා. එය කොපමණද කියනවා නම් එම අවස්ථාවේ සිටි පාලකයාව ලංකාවේ පළමු වතාවට ජනතාව විසින් පළවා හරිනු ලැබුවා.
නිදහසින් පසු අපේ රටේ හැමදාම ආණ්ඩු පෙරළි සිදුව තිබෙන්නේ මැතිවරණවලින්. හැබැයි, ලංකාවේ පළමුවතාවට මැතිවරණයක් නොමැතිව ජනතාව පාරට බැස පාලකයන් පළවා හැරියා. ඒ නිසා එම ආර්ථික අර්බුදය සමනය කර ගැනීමත්, නැවත කිසිදිනක ලංකාවේ එවැනි ආර්ථික අර්බුදයක් ඇති නොවන අන්දමින් ස්ථාවරත්වය නිර්මාණය කිරීමත් අපට තිබු ප්‍රධාන අභියෝගය වුණා. වසරක කාලයක් යන විට අපේ රට ගිලි තිබූ ආර්ථික අර්බුදයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සමනය කර ගනිමින් ස්ථාවරත්වයක් නිර්මාණය කර ගැනීමට අපි සමත් වී තිබෙනවා. වේගයෙන්ම ආර්ථික අර්බුදය සමනය කර ගත් රාජ්‍යයක් ලෙස අද ශ්‍රී ලංකාව අද හැඳින්වීමට පටන් ගෙන තිබෙනවා. ඒ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය සමාගම් නිකුත් කළ වාර්තාවල සඳහන්ව තිබෙනවා.
සාමාන්‍යයෙන් මෙවැනි ආර්ථික කඩා වැටීමකදී එය රටකට අහිමි දශකයක් වෙනවා කියලා ආර්ථික විශේෂඥයින් සඳහන් කරනවා. ඒ කියන්නේ යළි රටක් එම තිබූ තත්ත්වය කරා ළගාවීමට වසර 10ක් ගත වෙනවා. හැබැයි, ශ්‍රී ලංකාව ලෙස 2019 තිබූ ආර්ථිකය ලබන වසරේදී ළඟා කර ගත හැකි බව අපි විශ්වාස කරනවා. අපි ඉතා කෙටි කාලයකින් එය සිදු කර තිබෙනවා. සියලු දත්ත සහ සංඛ්‍යා මත අපට මෙය පුරෝකථනය කළ හැකියි.
අපේ රටේ ආර්ථිකය පුපුරා යාමේ ප්‍රධාන සාධකයක් බවට පත්ව තිබුණේ අපිට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය උපයා ගැනීමට අසමත් වීමයි. හැබැයි, ඩොලර් උපයාගත හැකි ප්‍රධාන ක්ෂේත්‍ර හතරේම ඉතිහාසයේ වැඩිම වර්ධනය මේ වසරේ සිදුව තිබෙනවා. මේ වසරේ ලක්ෂ 25කට ආසන්න සංචාරකයින් ප්‍රමාණයක් අපේ රටට පැමිණෙනවා. ඒ අනුව ලංකා ඉතිහාසයේ වැඩිම සංචාරකයන් මෙරටට පැමිණි වසර බවට 2025 වසර පත් වෙනවා.
ඒ වගේම විදෙස් සංක්‍රාම ලෙස වැඩිම ඩොලර් ප්‍රමාණයක් ලැබෙන වසර බවට මේ වසර පත් වෙනවා. ඒ අනුව මෙතෙක් උපයාගත් වැඩිම ආදායම මේ වසරේ උපයා ගන්නවා. අපි බලයට පත් වී වසරක් ගත වන විට ඩොලර් බිලියනයක විදෙස් ආයෝජන ලැබී තිබෙනවා. ඒ වගේම වරාය නගරය ආශ්‍රිතව ඩොලර් බිලියන 1.4ක විදෙස් ආයෝජන ලැබී තිබෙනවා. ඒ අනුව විදෙස් ආයෝජන වැඩියෙන්ම කැද වූ වසර බවටත් මේ වසර පත් වෙනවා. එහිදී අපි මුහුණ දී තිබු ඩොලර් සංචිත ප්රශ්නය අපිට විසඳාගත හැකියි. 2028 වසර වන විට අපේ ණය වාරික ගෙවීම ආරම්භ කිරීමේ අභියෝගය අපි හමුවේ තිබෙනවා. එසේනම්, 2028 වසර වන විට ණය යළි ගෙවීම සඳහා අවශ්‍ය වන ශක්‍යතාවක් සහිත ආර්ථිකයක් ගොඩනැඟීමට හැකි වනු ඇතැ’යි යන විශ්වාසයෙන් අපි වැඩ කරමින් සිටිනවා. ඒ අනුව,
ශ්‍රී ලංකාව ණය ගෙවාගත නොහැකි අර්බුදයක සිට ණය ගෙවාගත හැකි තත්ත්වය දක්වා වර්ධනය වී තිබෙනවා.
ඊළගට අපි මුහුණ දුන් අර්බුදය වන්නේ රජයට අවශ්‍ය ආදායම් උපයා ගැනීමට අසමත් වීමයි. හැමදාම අපේ රටේ අයවැය ලේඛනය මගින් අපේක්ෂා කරන ලද ආදායම ලැබී නැහැ. හැබැයි, 2025 වසරේදී අපි අපේක්ෂා කරන ලද රාජ්‍ය ආදායමට වඩා වැඩි රාජ්‍ය ආදායමක් ලංකාවේ පළමුවතාවට ලැබී තිබෙනවා. ඒ වගේම හැමදාම සිදු වුණේ අයවැය ලේඛනයෙන් ඇස්තමේන්තු කරන වියදමට වඩා වැඩි වියදමක් රජයට දැරීමට සිදු වීමයි. මේ වසරේ එයත් අඩු වී තිබෙනවා. ඒ නිසා අපි ආර්ථික ස්ථාවරත්වය නිර්මාණය කර තිබෙනවා. හැබැයි, එය ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ ආර්ථිකය අත්පත් කරගෙන තිබෙන ප්‍රතිඵල සාමාන්‍ය ජනතාව වෙත ගලා යා යුතුයි. ආර්ථිකය ස්ථාවර කර නොගෙන පහළ ස්ථරයට එම ප්‍රතිඵල ලබාදීමට හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ පළමු අභියෝගය ආර්ථිකය ස්ථාවර කර ගැනීමයි, දැන් මුහුණ දී තිබෙන අභියෝගය වන්නේ ආර්ථිකයේ අත්පත් කරගත් මෙම ජයග්‍රහණ පහළට ගලාගෙන යාමට සැලැස්වීම. මේ වසරේ අපේ අයවැය ලේඛනය මුළුමනින්ම සමන්විත වන්නේ එම අරමුණින්. කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය වර්ධනය කර ගැනීම සඳහා රජයේ මැදිහත්වීම, සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ගොඩනැඟීම, නව ආර්ථික අවස්ථා නිර්මාණය කිරීම ආදි ක්ෂේත්‍ර ගණනාවක් ඉලක්ක කර ගනිමින් අපි මෙවර අයවැය ලේඛනය සකස් කරනවා.
ඒ වගේම, අපිව බලයට පත්කර ගන්නා විට අපේ රාජ්‍ය යාන්ත්‍රණය පිළිබඳ මේ රටේ ජනතාවට අපේක්ෂාවක් තිබුණා. අපේ රාජ්‍ය යාන්ත්‍රණය ඉතා අකාර්යක්ෂම සහ බිද වැටුණු රාජ්‍ය යාන්ත්‍රණයක්. ඒ නිසා රට ගොඩනැඟීමේදී මේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ කාර්යක්ෂමතාව ඉහළ නැංවිය යුතුයි.
දේශපාලන හිතවත්කම් මත පමණක් රාජ්‍ය සේවය පිරවීම නිසා රාජ්‍ය සේවයට අත්‍යවශ්‍ය බඳවා ගැනීම් සිදුව තිබුණේ නැහැ. ඒ නිසා අපි රාජ්‍ය සේවයට 70,000ක් අලුතින් බඳවා ගැනිමට තීරණය කර තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය ආකර්ෂණිය කර ගැනීමට අවශ්‍ය වන වැටුප් තල ඇති කර තිබෙනවා. අපි ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වැටුප් වැඩි වීම සිදු කළා. මේ 2025 වසරේ පමණක් එම වැටුප් වැඩි වීම වෙනුවෙන් කෝටි 11,000ක් වෙන් කර තිබෙනවා. 2026 සහ 2027 වසරේ කෝටි 11,000 බැගින් ලබා දීමට සිදුවෙනවා.
ඒ අනුව 2027 වන විට රුපියල් කෝටි 33,000කින් වැටුප් වැඩිවීම් සදහා පමණක් ලබා දී තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවය ඩිජිටල්කරණ වැඩපිළිවෙළ අපි ආරම්භ කර තිබෙනවා. ලබන වසර වන විට රජයත් සමඟ සිදු කරන සියලු ගනුදෙනු ඩිජිටල් පද්ධතිය මගින් සිදු කිරීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ ගණනාවක් ආරම්භ කර තිබෙනවා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගු දෙපාර්තමේන්තුව මුළුමනින්ම ඩිජිටල්කරණයට ලක් කරනවා.
ඒ වගේම දීර්ඝ කාලයක් පුරා අපනයනකරුවන් සහ ආයෝජකයන් තනි කවුළුවකින් මේ සියල්ල කර ගැනීමේ පද්ධතියක අවශ්‍යතාව පෙන්වා දී තිබෙනවා. ඒ පිළිබඳ අපි නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට අපේක්ෂා කරන අතර, දැන් අපි එහි අවසන් එකඟතාවකට පැමිණ තිබෙනවා. මේ බිඳ වැටි තිබෙන රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට අවශ්‍ය වැඩ කටයුතු අපි සිදු කර තිබෙනවා
ඒ වගේම පැරණි ආයතන ව්‍යුහ අපි වෙනස් කරනවා. විදුලිබල මණ්ඩලය පැරණි ආකෘතියෙන් තවදුරටත් ඉදිරියට ගෙන යාමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා අපි එය කාර්යක්ෂම කිරීම සඳහා නව ආයතන පද්ධතියක් යෝජනා කළා. මේ අයුරින් කාර්යක්ෂම කළ හැකි ආයතනවලට අපි නව ව්‍යුහ හඳුන්වා දෙනවා. රාජ්‍ය ආයතන විධිමත් කිරීම වෙනුවෙන් අපි සැලකිය යුතු ප්‍රමාණයක් වැඩ කර තිබෙනවා. තවත් කළ යුතු ප්‍රමාණයක් තිබෙනවා.
ඒ වගේම, යහපත් ජාත්‍යන්තර සබඳතා ජනතාව අපේක්ෂා කළා. අපේ රට ජාත්‍යන්තරය තුළ යම් ප්‍රමාණයකින් කළු රටක් බවට පත්ව තිබුණා. ප්රජාතන්ත්රවාදයට ගරු නොකරන, මාධ්‍යවේදීන් ඝාතනය කරන, මානව හිමිකම් උල්ලංඝනය වන සහ ආර්ථිකය බිඳ වැටුණු වංචා දූෂණවලින් පිරුණු අපේ රට නැවත ලෝකයේ දීප්තිමත් රාජ්‍යයක් බවට පත් කර ගැනීමේ අවශ්‍යතාව අපිට තිබුණා. ඒ නිසා ශක්තිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා සහ ජාත්‍යන්තරය තුළ ලංකාව පිළිබඳ යහපත් ප්‍රතිරූපයක් ගොඩනැඟිය යුතුව තිබුණා. අද ජාත්‍යන්තර සංවිධාන තුළ ශ්‍රී ලංකාව පිළිබද නව බලාපොරොත්තුවක් ඇති වී තිබෙනවා. අපි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සහ මානව හිමිකම් පිළිබද කොමිසමේ මහ කොමසාරිස්වරයා හමු වූ අවස්ථාවේදී එය සඳහන් කෙරුණා. ඒ නිසා යළි අපේ රටට හිමි දීප්තිය සහ උරුමය ජාත්‍යන්තර වශයෙන් අත්පත් කර ගැනීම සදහා අපි වෙහෙසක් දරමින් සිටිනවා. එහි සැලකිය යුතු ප්‍රතිඵල ප්‍රමාණයක් අපිට ලැබී තිබෙනවා.
ඒ වගේම, නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමට අපිට අවශ්‍යව තිබුණා. බලය, ධනය හමුවේ නැමුණු සහ දුප්පත් අයට දඩුවම් හිමි වූ නීතියක් අපේ රටේ තිබුණා. රටේ සහ පොදු සමාජයේ මතයක් තිබුණා අපේ රටේ නීතියට ළගා විය හැකි පිරිසක් සහ ළගා විය නොහැකි පිරිසක් සිටිනවා කියලා. හැබැයි, අද අපි ප්‍රායෝගිකව ඔප්පු කරමින් සිටිනවා ලංකා භූමියේ නීතියට ළඟා විය නොහැකි කිසිදු පුද්ගලයෙක් නැහැ කියලා. ඕනෑම කෙනකුට නීතියට ළඟා විය හැකියි. එවැනි තීරණාත්මක හැරවුමක් ලංකාවේ සිදු කර තිබෙනවා. රට තුළ නීතියේ විධානයේ ආධිපත්‍යය නිසි පරිදි තහවුරු කිරීම අපේ වගකීමයි. අපි මේ තැබූ පියවර ඉදිරියට යනවා මිස ආපසු හරවන්නේ නැහැ.
අපිට ඡන්දය ලබා දීමේදී ජනතාව තුළ විශාල අපේක්ෂා තිබුණා. ඒ අපේක්ෂා සහ බලාපොරොත්තු සමඟ රජය ලෙස අප ගැට ගැසී තිබෙනවා. ජනවරමේ අපේක්ෂා මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් අපි වැඩ කරනවා. එහිදී කිසිවෙකුට යටත් වෙන්නේ නැහැ.
ඒ වගේම, වංචා සහ දූෂණ නතර කළ යුතුයි කියන බලාපොරොත්තුව මේ රටේ ජනතාව තුළ තිබුණා. අපේ රටේ දේශපාලනඥයාගේ නාස්තිය නීතියක් බවට පත්ව තිබුණා. ඒවා ප්‍රශ්න කළ නොහැකියි. දේශපාලකයන්ට රිසි සේ මහජනතාවගේ මුදල් නාස්ති කළ හැකි බවට සංකල්පයක් තිබුණා. එය වැරදියි. ආර්ථිකය විශාල ලෙස කඩා වැටි ගෑස්, ඉන්ධන නැතිව සිටින අවස්ථාවක ජනාධිපති නිල නිවසක් අලුත්වැඩියා කිරීමට මිලියන 470ක් වෙන් කර තිබුණා. මේ අයුරින් දේශපාලඥයන්ට මහජන මුදල් වැය කිරීම පිළිබඳ සීමා තිබුණේ නැහැ. ඔවුන්ට රිසි සේ වියදම් කළ හැකි බව සිතුවා. ජනාධිපතිවරයෙකුට සිමා නැහැ. හැබැයි, එම සීමාව තිබුණේ එම අසුනේ වාඩි වෙන කෙනාගේ ශිෂ්ටසම්පන්නභාවය තුළයි. එසේ නම් අපි නීතියෙන් එම සීමාව හැදිය යුතුව තිබෙනවා. ඒ සඳහා අපි කටයුතු කළා. එම නීතියේ සීමාව ලෙස හිටපු ජනාධිපතිවරුන්ට ආණ්ඩුවෙන් නිවාස හිමි වන්නේ නැහැ. එය කිසිවෙකුගෙන් පළිගැනීමක් නොවෙයි. අපිට කිසිවකු සමඟ පුද්ගලික වෛරයක් නැහැ. අපේ රටට දේශපාලන ශිෂ්ටසම්පන්නභාවයක් අවශ්‍යයි. එය සකස් කරන තුරු අපි නීතියේ සීමා හදනවා.
දේශපාලන අධිකාරිය මහජනතාවගේ මුදල් සතයක්වත් නාස්ති කරන්නේ නැති ආණ්ඩුවක් ලංකාවේ පළමුවතාවට අද ගොඩනැඟී තිබෙනවා. එය තමයි ජනවරමේ හරය. අපේ රට කඩා වැටුණේ මෙම සාධකවල ප්‍රතිඵලයක් ලෙසයි. ඒ නිසා මෙම තත්ත්වය වෙනස් කිරීමට නම් සියලු සාධකවල වෙනසක් අවශ්‍යයි. ඒ නිසා අල්ලසින්, දූෂණයෙන් තොර රාජ්‍යයක් නිර්මාණය කිරීමේ ජනවරමේ අපේක්ෂාව අපි මේ වන විට ඉටු කරමින් සිටිනවා.
ඒ වගේම, වංචාවේ සහ දුෂණයේ යෙදුණු අයට දඬුවම් ලබා දීම අපේක්ෂා කළා. අද අපි එය සිදු කරනවා. ඒ වගේම, ජාත්‍යන්තරය තුළ අපේ රට පිළිබඳ කළු පැල්ලම් එක් කළ ඝාතන සහ පැහැර ගැනීම් පිළිබඳ යුක්තිය අවශ්‍යයි. එයට සාධාරණය අවශ්‍යයි. ඒ පිළිබඳ අපි පරීක්ෂණ කරනවා. රණවිරු දඩයමට කිසිවෙකුට අයිතියක් නැහැ. යුද්ධයේදී ඔවුන් කළ කාර්ය පිළිබඳ අපිට ඇගයීමක් තිබෙනවා. එහෙත් ඊට මුවා වෙමින් සිදු කළ අපරාධ පිළිබද අපි පරීක්ෂණ සිදු කරනවා. අපේ රටේ යුක්තිය පිළිබද මතය ගොඩනැඟෙන්නේ නීතියක් තිබෙනවා කියන එක මතම නොවෙයි. යුක්තිය පිළිබඳ සමාජ මතය ගොඩනැගී තිබෙන්නේ තිබෙන නීතිය සාධාරණව ඉටු වෙනවා කියන මනෝභාවය තුළයි. නීතිය තිබූ පමණින් යුක්තිය පිළිබඳ මතයක් සමාජය තුළ නිර්මාණය වන්නේ නැහැ. යුක්තිය පිළිබඳ මතය නිර්මාණය වන්නේ, අයුක්තිය සිදු වූ මොහොතේදී යුක්තිය ඉටු වෙයි කියන මතය ගොඩනැඟුවොත් පමණයි. අපි එය සිදු කරනවා.
අපරාධ, දූෂණ පිළිබද පරීක්ෂණ අපි කිසිසේත් දේශපාලනය ඉලක්ක කරගෙන සිදු කරන්නේ නැහැ. අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අවශ්‍ය විමර්ශන සිදු කරනවා. අපි කරන්නේ අවශ්‍ය පහසුකම් සැපයීම පමණයි. ඒ සඳහා බලපෑම් නොකිරීම තමයි අපේ කාර්යය වන්නේ. පවතින ආණ්ඩුව මත එය සිදු නොවිය යුතු අතර, පවතින ආයතන මත එය සිදු විය යුතුයි. එම ආයතන ශක්තිමත් කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා.
ඒ වගේම, අපේ රට මුහුණ දී තිබූ මත්ද්‍රව්‍ය සහ බැඳුණු සංවිධානාත්මක අපරාධ මැඩපැවැත්වීමට අපි කටයුතු කරමින් සිටිනවා. ඒ නිසා අපි මේ යටිබිම්ගත රාජ්‍යය බිඳ දැමීමට කටයුතු කරනවා. රටට රාජ්‍ය දෙකක් තිබෙන්න බැහැ. තිබිය යුත්තේ එක රාජයයයි. ඒ හා බැදුණු රාජ්‍ය යාන්ත්රණයකින් පමණයි රාජ්‍ය ක්‍රියාත්මක කළ යුතු වන්නේ. ඒ නිසා පැති ගණනාවකින් අපේ රටට අවශ්‍ය වෙනස්කම් සහ පරිවර්තන අපි සිදු කරමින් සිටිනවා.
ඒ නිසා මීට වසරකට පෙර අපිට ලබා දුන් ජනවරමේ අපේක්ෂා ඉටු කිරීමේ මාවතට අපි ප්රවිශ්ට වී තිබෙනවා. ඒ වගේම අතරමඟ නැවතුණු ව්‍යාපෘති අපි නැවත ආරම්භ කර තිබෙනවා. කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපෘතිය 2023 වසරේ අවසන් වීමට තිබූ ව්‍යාපෘතියක්. එහෙත් එය අතරමඟ නැවතුණා. ඒ නිසා ලබන වසරේ පෙබරවාරි, මාර්තු වන විට එහි වැඩ නැවත ආරම්භ කිරීමට අපි සැලසුම් කර තිබෙනවා. ඒ වගේම, අතරමඟ නැවතුණු ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. සංස්කෘතික ඇමති මාතර සිටි නිසා සාර්ක් සංස්කෘතික මධ්‍යස්ථානය කියලා විශාල ගොඩනැඟිල්ලක් මාතර හැදුවා. දැන් කරන්න දෙයක් නැහැ. එය භාර ගන්න කිසිවෙක් කැමති නැහැ. දිරමින් තිබෙනවා. අපි මේවා නැවත ප්‍රතිසංස්කරණය කර ඵලදායී කාර්ය සඳහා යෙදවීම පිළිබද අවධානය යොමු කර තිබෙනවා.
ඒ නිසා ස්ථාරවභාවය සහ ප්‍රතිසංස්කරණය සඳහා අපි ගමන් කරමින් සිටිනවා. ජනවරමේ අපේක්ෂා අපි ඉටු කිරීමට සමත් වී තිබෙනවා. හැබැයි ප්‍රමාණවත් නැහැ, අපිට කල් අවශ්‍යයි. ඒ සඳහා ඔබේ දායකත්වය ඉතා වැදගත් වෙනවා. අද ඔබට රට තුළ ආයෝජන අවස්ථා නිර්මාණය වී තිබෙනවා. අපිට ඔබෙන් ඇල් වතුර වීදුරවක්වත් එපා, ව්‍යාපෘති පමණයි අවශ්‍ය.
ඒ වගේම, සංචාරක කර්මාන්තයට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබට පුළුල් දායකත්වයක් ලබා දිය හැකියි. තානාපති කාර්යාල සමඟ එක්ව විවිධ වැඩසටහන් සංවිධානය කළ හැකියි. අපි දුරස්ථව සිටිනවාට වඩා ලංකාව සමඟ විවිධාකාරයෙන් සක්‍රීයව මැදිහත් වී කටයුතු කරන ප්‍රජාවක් බවට පත් වෙමු කියා සියලුදෙනා ආරාධනා කරනවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd