අපි අපේ වැඩ කර තිබෙන බවත් මැතිවරණයක් නැවත එන විට ඔබේ තීරණය ඔබට ගන්න අවසරය තියෙන බවත් ඒ සඳහා අපෙන් බලපෑමක් නොමැති බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.
ඇහැලියගොඩ පලිගල පැවති විවෘත කිරිමකට එක්වෙමින් අමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළාය.
එහිදී තවදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරිය මෙසේ ද සඳහන් කළාය.
“මාර්ග සංවර්ධනයට අපේ රජය විශාල දායකත්වයක් ලබා දෙනවා. ගිය අවුරුද්දෙත් ගම්පෙරළිය හරහා විශාල මුදලක් අපේ ගම්වලට ආවා . නමුත් ආණ්ඩු පෙරළියත් එක්ක ඒ මුදල් ආපහු ගියා. අපි ආපහු ඇවිල්ලා අපේ අග්‍රාමාත්‍යතුමා හැම මැතිවරණ කොට්ඨාසයකටම ලැබෙන්න සැලැස්සුවා.අපේ දිස්ත්‍රික්කයට විතරක් ලක්ෂ 16,000 ක් විතර ආවා. මේ වැඩ කරන කොට අපි රජයක් හැටියට ගමට ප්රමුඛස්ථානයක් ලබා දෙනවා. සමෘද්ධිය ලබා දෙන කොට යම් අඩුපාඩුවක් වෙලා තියෙනවා නම් අපි ඒවා හදනවා.
ලබන අගෝස්තු 17 වැනිදාට මේ රජය පත් වෙලා අවුරුදු 04 යි. 94 ඉදලා 2014 වෙනකල් නොකෙරුණු වැඩ අපි මේ අවුරුදු 4 ඇතුළත සිදු කළා. මේ වැඩසටහන් වලට බෝඩ් එක නැති නිසා මාධ්‍ය ප්‍රචාර මාධ්‍ය සංදර්ශන නැති නිසා මේවා පිළිබඳව මිනිස්සු දැනුවත්වීමක් නැහැ. අපේ අගමැතිතුමා ඉඩම් ඇමතිතුමාට උපදෙස් ලබාදීලා තියෙනවා මේ රටේ ඉඩම් හිමිකමක් නැති රජයේ ඉඩම්වල පදිංචි අයට ඔප්පු ලබා දෙන වැඩපිළිවෙළක් සකස් කරන්න කියලා.
ඒ අනුව 2017 වැඩපිළිවෙළක් පටන් ගත්තා. සමහර අය අවුරුදු හැට හැත්තෑව ඉඩම්වල පදිංචි වෙලා ඉන්නවා ඒත් පදිංචි ඉඩමට ඔප්පුවක් නැහැ.
අපේ අගමැතිතුමා බිලියන වලින් ගත්තොත් බිලියන 2.7 ක් මිලියන 2600 ක් ලක්ෂ වලින් නම් 26000 ක් බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න වෙහෙර විහාර පන්සල් හදන්න වියදම් කරලා තියෙනවා.ඒ අපේ ඔබේ සල්ලි නෙවෙයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්. මේ මුදල් පාවිච්චි කරලා ඔය ආගම ගැන මහ ලොකුවට කථා කරපු අය නොකරපු වැඩ කොටසක් අගමැතිතුමා ලක්ෂ 26000 ක් ලබාදීලා තියෙනවා. ලෝක බැංකු ආධාර යටතේ මේ දිස්ත්‍රික්කයට පානීය ජලය ලබා දෙන්න ලක්ෂ 23000 ක වැඩ කොටසක් සිදු කර තිබෙනවා. ඒත් ඒවා ගැන ප්‍රචාරය කරන්න කටවුට් ගහන්න දැන්විම් දාන්න බෝඩ් ගහන්න අපි වියදම් කළේ නැහැ. අපි අද නාස්තිය දූෂණය අඩු කරලා තියෙනවා . එහෙම නාස්ති කරන්න අපි කටයුතු කරන්නේ නැහැ.
යහපාලන රජය ආවා විතරයි ස්වාභාවික විපත් ආවා .ගංවතුර ආවා .නාය ගියා . ඒ වගේම අන්තවාදී විසින් විශාල ප්‍රහාරයක් කළා. අපි බොහොම අමාරුවෙන් ගොඩ නගා ගෙන ආව සංවර්ධන කටයුතු නැවතෙන තැනට කටයුතු කළත් සමහර රටවල් වල ජාතීන් 50ක් විතර ජීවත් වෙනවා. ඒත් කිසිම කල කෝලාහලයක් නැතිව සාමකාමීව ජනතාව ජීවත් වෙනවා. අපිත් එහෙම ජීවත් වුණා. 30 වසරක යුද්ධයකින් පසුව දැන් ආයෙත් මේ ආගමික සංකල්පයක් මුල් කර ගෙන අන්තවාදී කල්ලියක් අපේ රටේ අහිංසක මිනිසුන් ඝාතනය කලා. හැබැයි අපි පස්සට යන්නේ නැහැ. මේ ඔක්කොම තියෙද්දි අපි දේශපාලන වශයෙන් කුහකකමක් වෛරයක් ක්‍රෝධයක් බවට පත් කරලා තිබ්බ සමාජයක් තමයි අපි භාර ගත්තේ. හැබැයි අපි පළි ගන්න ගියේ නැහැ. නමුත් අපි දන්නවා සමහර වසම්වල වැඩ කරන ක්ෂේත්‍ර නිලධාරීන් ගමට එන්නේ දේශපාලනය කරන්න. ඔවුන් මේ සමෘද්ධිය හරහා දුප්පත් මිනිස්සු තලා පෙලලා දේශපාලන අරමුණු ඉෂ්ට කර ගන්න ඔවුන් හැමදාම දුප්පත්කම පවත්වා ගෙන යන්න උත්සාහ කළා.
අපි අද අපේ අගමැතිතුමා නොයෙකුත් හේතූන් මත අසාධාරණයට පත් වුණු ලක්ෂ 06 කට සමෘද්ධිය දෙන්න කටයුතු කළා. පසුගිය කාලයේ රැකියා ලබා දුන්නේ දේශපාලන පදනමෙන්. නමුත් අපි මේ සැරේ උපාධි තියෙන කිසිම කෙනෙක් රැකියා නැතුව තියන් නෑ. රජයේ මුදලින් ඉගෙන ගෙන රැකියා නැතිව තියන්න රටට වැඩක් ගන්නේ නැතුව අපි තියන්නේ නැහැ. කාලයක් තිබ්බා යූ.එන්.පී. කාරයාට වතුර ටිකක් නොදීපු හැබැයි අපි එහෙම කරන්නේ නැහැ. අපි මේවා කරන කොට අපි තමුන්නාන්සේලාගේ සේවකයෝ හැටියට තමයි වැඩ කරන්නේ. අද ඒක නිසා තමයි අපි ඔබේ ගමට ඇවිත් තියෙන්නේ. රජයක් අපි අපේ වැඩ කරලා තියෙනවා. මැතිවරණයක් නැවත එන විට ඔබේ තීරණය ඔබට ගන්න අවසරය තියෙනවා අපෙන් බලපෑමක් නැහැ” යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
කෂිනි හපුආරච්චි
