ජනාධිපතිවරණය පැවති 1999 වසරේ තඹුත්තේගම කොට්ඨාශ මහජන සෞඛ්‍ය පරික්ෂක හා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති සංගමයේ ලේකම්වූ ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකර දේපළ රැසකට බරපතළ අනර්ථයක් සිදුකිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතකර සිටින අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිවරයා ඇතුළු සැකකරුවන් අටදෙනා මේ මස (22දා) දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අද (08දා) නියෝග කළේය.
පොලීසිය මගින් ඉදිරිපත් කල බී වාර්ථාවට අනුව නඩුවේ සැකකරුවන් වන ග්‍රාම නිලධාරිවරයෙකු වන ඩී.එල්.ජගත් චන්ද්‍රසිරි රාජංගණය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති නිහාල් වන්නිආරච්චි රාජංගණය ප්‍රාදේශිය සභාවේ හිටපු සභාපති හා වත්මන් උපසභාපති එම්. සමන් නිල්මිණි වීරසිංහ ලංකා ගමනාගමන මණ්ඩල රියදුරු උඩහමුල්ල කම්කානම්ලාගේ රංජිත් ප්‍රේමලාල් තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති ටී.එම්.ඉන්දික උදයකුමාර තෙන්නකෝන් උතුරුමැද පළාත් සභාවේ හිටපු සභාපති ටී.එම්.ආර්.සිරිපාල අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපති එච්.පී.සෝමදාස හා දැදිගමගේ ප්‍රේමසිරි නොහොත් උක්කුවා යන සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.
තඹුත්තේගම මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන නඩු මෙහෙයුම් අංශය වැඩිදුර වාර්ථාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට කියා සිටියේ නීතිපතිවරයා දෙපාර්තමේන්තුව මගින් නීතිපති උපදෙස් වාර්ථාව මෙතෙක් ලබාදි නැති බවත් එම වාර්ථාව කඩිනමින් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි.
සැකකරුවන් වෙනුවෙන් අධිකරණයට කරුණු දැක්වු නීතිඥවරුන් කියා සිටියේ එම වාර්ථාවන් කඩිනමින් ලබාගැනීමට පොලීසියට නියෝග කරන ලෙසත් සිදුකරන පරික්ෂණ කඩිනම් කිරීමට නියෝග කරන ලෙසත්ය.
දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලටගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් සියලු දෙනා මේ මස 22 වැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකල අතර අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපතිවරයාට හා තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට බන්ධනාගාර ආරක්ෂාව යටතේ මාසික රැස්වීම සඳහා රැගෙන යාමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරි රෝහන ගලප්පත්ති මහතාට නියෝග කළාය.
මෙම සිදුවීමට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසත් නීතිපති උපදෙස් කඩිනමින් ලබාගන්නා ලෙසත් විනිසුරුවරිය තඹුත්තේගම මූලස්ථාන පොලීසියට වැඩිදුරටත් නියෝග කළාය.
1999 වසරේ දෙසැම්බර් මස 21වන දින පැවත්වීමට නියමිතව තිබු ජනාධිපති මැතිවරණ ප්රචාරක කටයුතු අවසන්වීමෙන් පසුව එනම් දෙසැම්බර් මස (19දා) දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සැකකරුවන් පිරිස වෑන් රථ තුනකින් කඩු පොලු හා අත්බෝම්බ රැගෙන සිය නිවසට කඩාවැදී පහරදී නිවසට හා දේපලවලට බරපතළ අනර්ථයක් සිදුකල බව කියමින් එවකට රාජංගණය යාය නමය ලිපිනයේ පදිංචිව සිටි තඹුත්තේගම කොට්ඨාස මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාවූ හා එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති සංගමයේ ලේකම්ව සිටි ආනන්ද වේරගොඩ මහතා 1999 වසරේ දෙසැම්බර් මස (20දා) උදෑසන තඹුත්තේගම මූලස්ථාන පොලීසියට සිදුකල පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර තිබුණි.
සැකකරුවන් කඩු පොලු රැගෙනවිත් නිවස පරිශ්‍රයට කඩාවැදී නිවස ඉදිරිපිට නවතා තිබු දොර දෙක බස් රථයකට තනි දොර බස් රථයකට ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකට හා රජයෙන් ලබාදුන් යතුරු පැදියකට පහරදී නිවසේ ගෘහ විදුලි උපකරණ සම්පුර්ණයෙන්ම විනාශ කර රුපියල් දස ලක්ෂයකට අධික අනර්ථයක් සිදුකර නිවසේ තිබූ රුපියල් 65,000ක් පමණ වටිනා දේපල කොල්ලකා නිවස ඉදිරිපස කාමරයට අත්බෝම්බයක් විසිකර පලාගිය බව පැමිණිල්ලේ සඳහන්.
සැකකරුවන් පිරිස සිද්ධියෙන් වසර 19ක් මාස හයකට අධික කාලයකට පසුව තඹුත්තේගම මූලස්ථාන පොලීසියට භාරවීමෙන් අනතුරුව සැකකරුවන් තඹුත්තේගම මූලස්ථාන පොලීසිය මගින් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට පළමුව පසුගිය 17 වැනි දින ඉදිරිපත් කෙරිණි.
එදින සිට සැකකරුවන් දින 21 ක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අතර, අද (08) දින සිට තවත් දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
උතුරුමැද පළාතභාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ එල්.පී.එස්.පී සදුන්හගවත්ත අනුරාධපුර කොට්ඨාසභාර පොලිස් අධිකාරි තිලින හේවාපතිරණ යන මහත්වරුන්ගේ උපදෙස්මත ඒ තඹුත්තේගම මුලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ජේ. අතුකෝරල මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන නඩු මෙහෙයුම් අංශය සැකකරුන් අධිකරණයට ඉදිරිපත් කළේය.
එප්පාවල - තිසර සමල්