කොරෝනා වසංගතයට බ්‍රිතාන්‍ය මහජනතාව දැක්වූ ප්‍රතිචාරය දෙවැනි ලෝක සංග්‍රාමයේදී සිය සොල්දාදුවන් දැරූ උත්සාහය හා සැසඳීමට දෙවැන එලිසබෙත් රැජින කටයුතු කළාය.
VE Day හෙවත් දෙවැනි ලෝක සංග්‍රාමයේදී යුරෝපයේ ජයග්‍රාහී දිනයෙහි 75 වැනි සංවත්සරය වෙනුවෙන් අදහස් දක්වමින් රැජින මෙම අදහස් පළ කළාය. එහිදී මහාද්වීපයේ පැවති සටන්වල අවසානය පිළිබඳ තමාගේම අත්දැකීම් සිහිපත් කළ ඇය, 1945 මැයි 8 වැනි දින ජර්මනියේ නාසීන් යටත් කළ බ්‍රිතාන්‍ය සහ මිත්‍ර හමුදාවල ශක්තිය හා ධෛර්යය අගය කළාය.
"කිසි විටෙකත් අත් නොහරින්න, කිසි විටෙකත් බලාපොරොත්තු සුන් නොකරන්න, එය VE Day පණිවිඩයයි." රැජින පැවසුවාය "මගේ සහෝදරිය සහ මම අපේ දෙමව්පියන් සහ වින්ස්ටන් චර්චිල් සමග බකිංහැම් මාලිගයේ බැල්කනියේ සිට දුටු ප්‍රීතිමත් දර්ශන මට ඉතා පැහැදිලිවම මතකයි."
මේ වසරේදී ඒ සැමරුම සඳහා වූ මහජන අනුස්මරණය අවලංගු කිරීමට බලකෙරී ඇති කොරෝන වෛරස වසංගතය විසින් බ්‍රිතාන්‍යයේ නූතන ජනජීවිතයට ඇති බලපෑම පිළිගත් ඇය, එක්සත් රාජධානියේ යුද කාලීන පරම්පරාව සහ ඔවුන්ගේ නූතන සගයන් අතර සමානකම් ඉස්මතු කරමින් කතා කළාය.
"අද අපට අවශ්‍ය පරිදි මේ විශේෂ සංවත්සරය සනිටුහන් කිරීම අසීරු බවක් පෙනෙන්නට තිබෙනවා. ඒ වෙනුවට අපගේ නිවෙස්වල සහ අපේ දොරකඩ සිට අපට එය සිහිපත් කළ හැකියි." ඇය සිය කතාව අවසානයේදී පැවසුවාය. "නමුත් අපේ වීදි හිස් නැහැ. ඒවා පිරී ඇත්තේ අප එකිනෙකා කෙරෙහි දක්වන ආදරය හා සැලකිල්ලෙන්. මම අද අපේ රට දෙස බලන විට, එකිනෙකා ආරක්ෂා කිරීමට සහ සහයෝගය දැක්වීමට අප කුමක් කිරීමට කැමති දැයි බලද්දී, අපේ නිර්භීත සොල්දාදුවන්, නැවියන් සහ ගුවන් භටයින් හඳුනාගෙන ඔවුන් අගය කරන ජාතියක් අපට තවමත් සිටින බව මට ආඩම්බරයෙන් තවමත් පැවසීමට පුළුවන්."
කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූදා සිට 94 හැවිරිදි එලිසබෙත් රැජින රට ඇමතූ දෙවැනි අවස්ථාව මෙයයි.