නිවසකට බෝම්බ ගසා රුපියල් ලක්ෂ 30ට අධික දේපළ අනර්ථයක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත සිටින අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයා ඇතුළු සැකකරුවන් හත්දෙනා ඇප මත මුදා හරින්නැයි නීතිඥයින් කල ඉල්ලීමක් සලකා බැලූ තඹුත්තේගම මහේස්ත්‍රාත් කේ.ඒ රමිලා නදීෂානි මහත්මිය සියලු සැකකරුවන් ලබන ජූලි මස 8 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට අද (24) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙසේ නියෝග කෙරිණි.
තවදුරටත් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ අනුරාධපුර මහනගර සභාවේ නගරාධිපති එච්.පී සෝමදාස, උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී. එම්. ආර්. සිරිපාල, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපති ඉන්දික නුවන් තෙන්නකෝන්, රාජාංගණය ප්‍රාදේශීය සභාවේ උපසභාපති සමන් නිල්මිණ, ග්‍රාම නිලධාරී ජගත් චන්ද්‍රසිරි ඇතුළු සැකකරුවන් හත් දෙනෙකි.
එක්සත් ජාතික පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සාමාජික ප්‍රවර්ධන නිලධාරිවරයා ලෙස කටයුතු කරන වර්තමාන අනුරාධපුර දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරික්ෂක ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට බෝම්බ ගසා රුපියල් ලක්ෂ 30ක පමණ දේපල හානියක් සිදු කිරීමේ සිද්ධියට සම්බන්ධ සියලු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි තඹුත්තේගම හිටපු මහේස්ත්‍රාත් බංඩාර ඉලංගසිංහ මහතා තඹුත්තේගම පොලීසියට අවස්ථා දෙකකදී මීට පෙර නියෝග ලබාදී තිබුණද පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම දිගින් දිගටම පැහැර හැර තිබුණි.
සැකකරුවන් මෙම අපරාධය සඳහා යොදා ගත් බවට සැක කෙරෙන වාහනයද වාහාම අත්අඩංගුවට ගන්නා ලෙසද එවකට හිටපු මහේස්ත්‍රාත් ඉලංගසිංහ මහතා තඹුත්තේගම පොලීසියට එහිදි තවදුරටත් නියෝග කෙරිණි.
මීට වසර 20කට පෙර 1999 වසරේ පැවැති ජනාධිපතිවරණ මැතිවරණ ප්රචාරක කටයුතු පැවැති සමයේ උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී.එමි.ආර්.සිරිපාල ඇතුළු සැකකරුවන් මෙම අපරාධය සිදු කර ඇති බව පොලිස් විමර්ශන වලදි හෙළිව තිබේ.
සැකකරුවන් විසින් බෝම්බ ගැසීම හේතුවෙන් ආනන්ද වේරගොඩ මහතාට අයත් රාජාංගණය යාය 9 ගැමුණුපුර පිහිටි නිවසේ නවතා තිබූ බස් රථ දෙකකට හා වෑන් රථයකට බරපතළ හානි සිදුව තිබිණ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කල යුතු කඩිනම් විමර්ශන එවකට තඹුත්තේගම හිටපු මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා සැලසුම් සහගතව යටපත් කර තිබූ බවත් එසේ විමර්ශන කටයුතු යටපත් කර ඇත්තේ ප්‍රබල දේශපාලනඥයෙකුගේ බලපෑම් මත බවත් සිද්ධිය සම්බන්ධයෙන් පසුව සිදු කල පොලිස් විමර්ශන වලදි හෙළිව තිබේ.
අනුරාධපුර - බි.ජි චතුරංග/තිසර සමල්