අඟහරු ග්‍රහයා මත ගොඩබැස ඇති චීනයේ ෂුරොන්ග් රෝවරය විසින් ගන්නා ලද සෙල්ෆි ඡායාරූපයක් ඇතුළු ඡායාරූප පෙළක් චීනයේ ජාතික අභ්‍යවකාශ පරිපාලනය විසින් නිකුත් කර තිබේ.
මෙම ඡායාරූප අතර අඟහරු ග්‍රහයා මත ගොඩබෑම සිදුකළ ලෑන්ඩර් යානය මත සිට ගත් පැනොරාමා ඡායාරූපයක්, අඟහරු පෘෂ්ඨයේ සිට ගත් භූ විෂමතා සහිත භූ දර්ශනයක්, ලෑන්ඩර් යානය හා ගොඩබෑමේ වේදිකාවේ ඡායාරූපයක් මෙන්ම, ලෑන්ඩර් යානය සමග රෝවරයේ සෙල්ෆි ඡායාරූපයක් දැකගත හැකිය.
මෙම ෂුරොන්ග් රෝවරය පසුගිය මැයි 22දා ප්‍රථම වරට ලෑන්ඩර් යානයේ සිට ගොඩබෑමේ වේදිකාවත් මතින් අඟහරු පෘෂ්ඨය වෙත පැමිණ තිබුණි.
පැනොරාමා දර්ශනය
ලෑන්ඩර් යානයෙන් පිටවීමට පෙර රෝවරයේ ඇති සංචාලන භූමි කැමරාව විසින් ගන්නා ලද මෙම සුවිශේෂී ඡායාරූපය, ගොඩබෑමේ ස්ථානය අසල හාත්පස විහිදුණු ප්‍රදේශයක් පෙන්වයි. අඟහරුගේ ක්ෂිතිජය දුරින් දැකිය හැකි අතර, ගොඩබෑම සිදුකළ භූමියේ ඇති පාෂාණවල බහුලත්වය හා ප්‍රමාණයන්ද පෙන්වයි.
අඟහරු භූ දර්ශනය
අඟහරු ග්‍රහයාගේ පෘෂ්ඨයට රෝවරය ළඟා වූ පසු සංචාලන භූමි කැමරාව විසින් ගන්නා ලද අඟහරු ග්‍රහයාගේ පළමු වැනි භූ දර්ශන රූපයයි. එය ආසන්න පැතලි භූමියක් පෙන්වයි. සුමට දාර සහ සැහැල්ලු වර්ණ සහිත විවිධ ප්‍රමාණයේ පාෂාණ අර්ධ වශයෙන් අඟහරු පෘෂ්ඨයේ වැළලී ඇති ආකාරය, වැලි කඳු මෙන්ම භූමියේ ස්වරූපය පැහැදිලිව දැකගත හැකිය.
ලෑන්ඩර් සහ ගොඩබෑමේ වේදිකාව
ලෑන්ඩර් යානය ගොඩබෑමේ වේදිකාව පෙන්වන මෙම ඡායාරූපය ඉන් මීටර් 6 ක් පමණ දුරින් රෝවරය විසින් ගන්නා ලද ඡායාරූපයකි. චීනයේ ජාතික ධජය දීප්තියෙන් දිග හැරී ඇති ආකාරය දැකගත හැකිය.
ෂුරොන්ග් සහ ලෑන්ඩර් හි සෙල්ෆිය
ෂුරොන්ග් රෝවරය මුලින්ම ගොඩබෑමේ වේදිකාවට මීටර් 10ක් පමණ දකුණට ගමන් කර, එහි පතුලේ සවි කර ඇති කැමරාව අඟහරු පෘෂ්ඨයෙන් තබා යළිත් ලෑන්ඩර් යානය හා ගොඩබෑමේ වේදිකාවේ පැත්තට පසුපසට පැමිණ රැහැන් රහිතව රෝවරයට සම්ප්‍රේෂණය කරන ලද සෙල්ෆි ඡායාරූපයකි.