වඩාත් සීමාකාරී සමාජ හුදෙකලා පියවර නිසා රට බිඳ වැටෙනු ඇතැයි බ්‍රසීලයේ ජනාධිපති ජෙයර් බොල්සනාරෝ අනතුරු ඇඟවූ අතර, රාජ්‍ය අංශයේ සේවකයන්ට ගෙවීමට ප්‍රමාණවත් මුදලක් නොමැති බවද පවසා සිටියේය.
"අගුලු දැමීම පිළිබඳ මේ කතාව, සියල්ල වසා දැමීම, එය මාර්ගය නොවෙයි" ජනාධිපති මන්දිරයෙන් පිටත රැස්ව සිටි මාධ්‍යවේදීන්ට ඔහු පැවසුවේ, "එය අසාර්ථක වීමේ මාවත, බ්‍රසීලය බිඳ දැමීමේ මාවතයි." යනුවෙනි.
බොල්සොනාරෝ පැවසුවේ රට පුරා බොහෝ ආණ්ඩුකාරවරුන් විසින් දැනටමත් හඳුන්වා දී ඇති නිරෝධායන පියවර මගින් අර්බුදය තවත් උග්‍ර වී ඇති බවයි. "බ්‍රසීලය දුප්පතුන්ගේ රටක් බවට පත්වෙමින් තිබෙනවා. " ඔහු අනතුරු ඇඟවූයේ, "රාජ්‍ය අංශයේ සේවකයන්ට ගෙවීමට ප්‍රමාණවත් මුදලක් නොතිබෙනු ඇති" යනුවෙනි.
තම ජනප්‍රියත්වය වෙනුවෙන් ආණ්ඩුකාරවරුන්ට එරෙහිව තම පාක්ෂිකයන් විසින් පැවැත්වූ සමාජ දුරස්ථකරණ සීමා උල්ලංඝණය කළ ලොක්ඩවුන් විරෝධී උද්ඝෝෂණයකටද බ්‍රසීල ජනාධිපතිවරයා රට තුළ වෛරසය පැතිර යන මුල් කාලයේදීම සම්බන්ධ විය. නමුත් ලොව වෛරසය පාලනය කර ඇති බොහෝ රාජ්‍යයන් මෙම සීමා කිරීම් වඩාත් හොඳින් හැසිරවූ රටවල් බව අද දක්නට ලැබෙන බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එමෙන්ම බ්‍රසීල ජනාධිපතිවරයා මුඛ ආවරණ පැළඳ සිටියත්, එය බොහෝ අවස්ථාවල ගලවා දමමින්, සෞඛ්‍ය ආරක්ෂණ නීති මායිම් නොකරන හා වගකීම් විරහිත ලෙස ඔහු හැසිරුණු බවටද බ්‍රසීල මාධ්‍ය චෝදනා කරයි.
විශේෂයෙන්ම බ්‍රසීලයේ ඇමසන් වනාන්තරය කපා ව්‍යාපාරිකයන් ලබාදීමේ චෝදනාවන්ද හිමි මෙම ජනාධිපතිවරයාගෙන්, බ්‍රසීල ජනතාවට මීට වඩා යමක් බලාපොරොත්තුව විය නොහැකි බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මේ වනවිට රට තුළ කොවිඩ්-19 ආසාදිතයන් ශීඝ්‍රයෙන් ඉහළ යන පසුබිමකය.